ප්‍රවීණ දක්ෂ නර්තනාචාර්යවරයකු වූ චන්දන වික්‍රමසිංහයන්ගේ නවතම මුද්‍රා නාට්‍ය නිර්මාණය ‘The Noir Queen kuweni’2025 වසරේ ජනවාරි මස 03 වැනිදා සවස 6.00ට නෙළුම් පොකුණ රඟහලේදී වේදිකාගත කිරිමට නියමිතය. චන්දන වික්‍රමසිංහ නර්තන සංසදය විසින් නිෂ්පාදිත මෙම මුද්‍රා නාට්‍යය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවක් පසුගියදා ශ්‍රී ලංකා සංචාරක හෝටල් කළමනාකරණ ආයතන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. එහිදී නර්තනාචාර්ය චන්දන වික්‍රමසිංහයන් දැක්වූ අදහස් කිහිපයක් ‘දිවයින සිනමා කලා’ මෙලෙස සටහන් කළේය.
‘ලංකාවෙන් එළියට රාමායනය කිහිපවතාවක් අරගෙන ගිය වෙලාවේ මම කල්පනා කළා අපට මේ තියෙන සම්බන්ධතා උඩ ඇයි අපි රාමායනය අරගෙන යන්නේ කියලා. මට හිතුණා අපේ දෙයක් ජාත්‍යන්තරයට අරගෙන යන්න ඕනෑ කියලා. ඒ අනුව තමයි කුවේණි ගැන කතාබහ කළේ. කුවේණියගේ පුරාවෘත්තය අපි හැමෝම දන්නවා. මේක විවිධ විවිධ ආකාරයට අපේ රටේ නර්තන නිර්මාණ ශිල්පීන් වේදිකාවට ගෙනැවිත් තිබෙනවා. මගේ ආචාර්යවරුන් දෙදෙනා වන රවිබන්දු සර් වගේම මුදියන්සේ දිසානායක සර් මීට කලින් මේ නිර්මාණය ජනතාව අතරට ගෙනැල්ලා තිබෙනවා’.
ඉතිං මම මේ සැරේ සාමාන්‍යයෙන් වෙනස් විදිහට හිතුවා. අපට හිමි අපේ සාම්ප්‍රදායික නර්තන කලාව අපට හිමිවන්නෙත් කුවේණියට සිද්ධවුණ ඛේදවාචකයේ අතුරු ප්‍රතිඵලයක් විදිහට. සාමාන්‍ය කුවේණියගේ කථාවට වඩා තියටර් එකට ගැළපෙන ආර්ට් එකක් විදිහට ගේන්න ඕනෑ කියලා මම හිතුවා. ඇත්තටම මම මේ පිටපත ලිව්වේ කොවිඩ් වසංගතයටත් කලින්. මේ පිටපත ලියනකොට අපි ‘ස්ටෝරි ඔෆ් සීතා’ පෙන්වනවා වගේම විදෙස් සංචාර සඳහා ද එය රැගෙන යනවා.
මම මේ සඳහා නෙරංජනී ශන්මුගරාජා ගෙනැල්ල ඇයට මේ වැඩේ කරන්න පුළුවන් ද කියලා පුහුණුවීම් කරලත් බැලුවා. අපි හැමදාම දකින්නේ කපු කටින කුවේණියක්. අපි පුරුදුවෙලා තියෙන්නේ එහෙම. අපිට කුවේණි ගැන වෙන කියැවීමක් තිබෙනවා. මේක සාම්ප්‍රදායික මෙතෙක් කල්දුටු මුද්‍රා නිර්මාණයක් නෙමෙයි. මේක වෙනස්ම නිර්මාණයක්. නමුත් මේ වගේ කාලයක මුද්‍රා නාට්‍යයක් කරනවා කියන එක ලේසි නැහැ. නමුත් ඒ අභියෝගය මම කොහොම හරි ජයගත්තා. මේ මුද්‍රා නාට්‍යයේ සමහර චරිත අපි වේදිකාව තුළ රඟපාන්නේ නැහැ. ඒවා අපි තාක්ෂණයත් එක්ක තමයි ගෙනහැර දක්වන්නේ. ඒක ලේසි නැහැ. නර්තන ශිල්පීන් සියයකට අධික පිරිසක් රඟපානවා. කාර්මික ශිල්පීන් රැසක් මේ සඳහා දායක වෙනවා.
මම චිත්‍රපට හතළිහක විතර වැඩකරලා තියෙන හින්දා කාස්ටින් කියන එක මෙහිදී හරිම වැදගත්. කුවේණිය කියන්නේ හොඳ හයියක් තියෙන ගැහැනියක්. ඉතාම කෙටි කාලයක් තුළ කුවේණියගෙන් නව රස වෑහෙන්න ඕනෑ. මේ වැඩේ දරන්න පුළුවන් කෙනෙක් ගැන හිතලයි කුවේණියගේ චරිතයට නිරංජනී ශන්මුගරාජා තෝරාගත්තේ. පඬුවස්දෙව් රජු විදිහට ආචාර්ය රවිබන්දු විද්‍යාපති සර් වගේම මලය රජු විදිහට මහාචාර්ය මුදියන්සේ දිසානායකට ආරාධනා කළා. මගේ නර්තන ගමන්මගේ යම්කිසි වෙනසක් ඇතිකරපු රංජිත් ප්‍රියංග අයියාට ආරාධනා කළා කිත්සිරි රජුගේ චරිතයට. මගේ දුව දෙවංගිටත් ආරාධනා කළා භද්දකච්චායනා කුමරියගේ චරිතයට ඇවින් නටන්න කියලා. The Noir Queen kuweni හි සංගීත අධ්‍යක්ෂණය සිදු කරනු ලබන්නේ පේෂල මනෝජ් විසිනි.
මෙහි ගී පද රචනා සිදු කරනු ලැබුවේ බණ්ඩාර ඇහැලියගොඩ වගේම මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දරයන්. එම ගීත ගායනා කරන්න අමන්ද්‍යා උත්පලී, තනුර මධුගීත්, මහේෂා සඳමාලි එකතු වුණා. මමත් රවී සර්ගේ වගේම මුදියන්සේ සර්ගේ ගෝලයෙක්. මගේ නර්තන කණ්ඩායම බොහොම මහන්සියෙන් නටන නර්තන කණ්ඩායමක්. ඒ වගේ නර්තන කණ්ඩායමක් ඉන්න ඕනෑ මේ වගේ වැඩක් නිර්මාණය කරන්න.
වෙනදා දකින විජය රජුට වඩා වෙනදා දකින මලය රජුට වඩා වෙනස් කතාවක් වෙනස් ඇහැකින් කුවේණිය තුළින් ඔබට දකින්න හැකිවේවි. පළමු වතාවට මම මේ සඳහා අර්ධ නාරී චරිතයක් පවා භාවිතා කරනවා. මේ මුද්‍රා නාට්‍ය නිර්මාණය හරහා විවිධ චරිත දැකගන්න පුළුවන් වේවි. ඔThe Noir Queen kuweni කියලා නම යෙදුවේ ඒ නම ලෝකයට ගෙනියන්න හරි ලේසි නිසයි. ඒ කළු රැජින කියන නමෙත් යම්කිසි ගැඹුරක් තියෙනවා.
මම ලංකාවෙන් එළියේ ලෝකයත් සමග වැඩකරද්දී විශාල ප්‍රසංග රැසකට සහභාගි වෙනවා. මේ මගේ දෙවැනි මුද්‍රා නාට්‍ය නිර්මාණය. රාමායනය ඉන්දියාව ලෝකයට අරගෙන යනවා වගේම, මම කුවේණිය ලෝකයට අරගෙන යනවා. මම ඉගෙනගත්තු දෙයක් තියෙනවා. මම කැමැති සංකල්පය මම හදාගත්තා. එය ලෝකයට ගෙනියන්න තමයි මගේ ඊළඟ වෑයම.