බිරිය රට යවා ගෙදර ජයටම කසිප්පු පෙරලා

නවදගල, නුගේතිබූකන්ද ප්‍රදේශයේ ඊයේ (02) අලුයම කළ විශේෂ මෙහෙයුමක දී ගෘහස්ථ නීති විරෝධී මත්පැන් ස්කාගාරයක් වටලා රුපියල් ලක්ෂ තුනක් පමණ වටිනා ගෝඩා සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව ඌරගස්මංහන්දිය පොලීසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නවදගල, නුගේතිබූකන්ද පදිංචි 49 හැවිරිදි දෙදරු පියෙකි. ඔහුගේ බිරිය මැදපෙරදිග ගෘහ සේවයේ යෙදි සිටියදී සැකකරු සිය නිවෙසේ මෙම ජාවාරම කරගෙන ගොස් ඇතැයි ද පොලිස් පරික්ෂණවලින් අනාවරණය කරගෙන තිබිණ. අත්අඩංගුවට පත් උපකරණ අතර යකඩ හා ප්ලාස්ටික් බැරල් හයක්, තඹ කම්බි දඟරයක්, ලීටර් 40 කෑන් 04ක්, පුනීලයක්, ජෝගු කිහිපයන් හා ගෝඩා මිලි ලීටර් 910,000ක් ද වූ බව පොලීසිය පවසයි.

සැකකරු මෙම නීති විරෝධී මත්පැන්, නිවෙසේ දීම නිෂ්පාදනය කර පොලිතීන් කවරවල පැකට් කර කරන්දෙණිය හා ඌරගස්මංහන්දිය පොලිස් වසම් දෙකෙහි ප්‍රදේශ රැසකට තොග වශයෙන් බෙදාහැර ඇති බව ද පොලීසිය සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published.