2024දී නාවික හමුදාවෙන් කෝටි 2,815ක කුඩු අල්ලලා

ශ්‍රී ලංකා නාවික හමුදාව 2024 වර්ෂය තුළ සිදුකළ මෙහෙයුම් මඟින් රුපියල් කෝටි 2,815කට අධික වටිනාකමකින් යුත් (මිලියන 28,150 ) මත්ද්‍රව්‍ය සහ මත්පෙති නීතියේ රැහැනට හසුකර දීමට සමත්ව තිබේ.

ශ්‍රී ලංකා නාවික හමුදාව මෙරට නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන සහ කලාපීය සමුද්‍රීය පාර්ශ්වකරුවන් හා එක්ව පසුගිය වර්ෂය තුළ (2024) සිදුකළ මෙහෙයුම් මඟින් මත්ද්‍රව්‍ය හා මත්පෙති ජාවාරම්, අනවසර භාණ්ඩ ජාවාරම් සහ අනවසර සංක්‍රමණ ඇතුළු නීති විරෝධී කටයුතු සිදුකළ දේශීය හා විදේශීකයන් 407ක් සමඟ, රුපියල් මිලියන 28,158කට අධික දළ වීථි වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය හා මත්පෙති ඇතුළු අනවසරයෙන් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ භාණ්ඩ විශාල තොගයක් නීතියේ රැහැනට හසුකරදීමට සමත් ව තිබේ.

ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය, පොලිස් විශේෂ කාර්ය බළකාය සහ සුරාබදු දෙපාර්තමේන්තුව ඇතුළු නීතිය ක්‍රියාත්මක කරනු ලබන ආයතන සමඟ එක්ව සිදු කළ විශේෂ ඒකාබද්ධ බුද්ධි මෙහෙයුම් මඟින් සහ ඉන්දීය නාවික හමුදාව සහ මාලදිවයින් වෙරළ ආරක්‍ෂක බළකාය සමඟ සිදුකළ ඒකාබද්ධව මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබේ.

‘ක්ලීන් ශ්‍රී ලංකා‘ ජාතික වැඩසටහනට සමගාමීව, මෙරට සාගර කලාපය ඔස්සේ සිදුකෙරෙන මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු නීති විරෝධී කටයුතු මැඩපවත්වා, සමුද්‍රීය ආරක්‍ෂාව තහවුරු කර, සාගරය ඔස්සේ සිදු කෙරෙන ආර්ථික කටයුතු සුරක්‍ෂිතව සිදු කිරීම සඳහා අවශ්‍ය ස්ථායි සමුද්‍රීය කලාපයක් පෝෂණය කර, ජාතික සමුද්‍රීය අභිලාසය සාක්ෂාත්කර ගැනීම වෙනුවෙන්, නව උපායමාර්ගීක සැලැස්මක් සහිතව 2025 වර්ෂයේ දී ද අඛණ්ඩව මෙහෙයුම් සිදුකරනු ලබන බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

Leave a Reply

Your email address will not be published.