තෙල් මෝලේ ආරක්ෂකයා මරා සේප්පුව කැඩූ සේවකයා

මුන්දලම, බත්තුළුඔය ප්‍රදේශයේ පොල්තෙල් නිෂ්පාදන ආයතනයක් තුළ පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

එලෙස මියගොස් ඇත්තේ,  විජයකටුපොත, හලාවත ප්‍රදේශයේ පදිංචිව සිටි 45 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු එම පොල්තෙල් නිෂ්පාදන ආයතනයේ ආයතනයේ ආරක්ෂක නිලධාරියකු ලෙස සේවය කළ පුද්ගලයෙකු බව පොලීසිය සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී තිබේ. 

අදාළ ඝාතනය සම්බන්ධයෙන් ඊයේ (11) අලුයම් කාලයේදී  මුන්දලම පොලීසියට තොරතුරක් ලැබී තිබුණි. 

එහිදී අනාවරණය වී ඇත්තේ,  මරණකරු පසුගිය 10 වන දින රාත්‍රී රාජකාරි නිරතව සිට ඇති බවත් පසුදින උදෑසන ආයතනයේ සේවකයින් පැමිණීමේදී මොහු හිසෙහි තුවාල සහිතව මියගොස් සිට ඇති බවත්ය.

එමෙන්ම එම ආයතනයේ සේප්පුවක තිබු රුපියල් ලක්ෂ 14 කට ආසන්න මුදලක් කොල්ලකා ඇති බවත්, ආයතනයේ හිමිකරු විසින් මුන්දලම පොලිස් ස්ථානයට පැමිණිලි කර තිබුණි.

ඒ අනුව, මුන්දලම පොලිස් ස්ථානයේ හා පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් විසින් සිදුකළ විමර්ශයෙන් අනතුරුව මෙම අපරාධයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

එම සැකකරු ඊයේ සවස් කාලයේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ, බත්තුළුඔය ප්‍රදේශයේදීය.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවෙදී අදාළ සැකකරු සන්තකයේ තිබී සේප්පුව කඩා කොල්ලකන ලදැයි සැකකරන රුපියල් 141,000ක මුදලක් ද පොලීසිය විසින් සොයා ගෙන ඇත. 

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 37ක් වන බත්තුළුඔය ප්‍රදේශයේ පදිංචි එම ආයතනයේම සේවකයෙකු බව පොලීසිය පවසයි.

Leave a Reply

Your email address will not be published.