බීම බෝතලයේ තිබූ ඩීසල් බිව්ව ළදරුවා මියයයි

යාපනයේ කයිට්ස් නාරාන්තනෙයි ප්‍රදේශයේ වයස අවුරුදු එකහමාරක දරුවකු ඩීසල් ශරීර ගත වීම නිසා 23 දා මියගොස් තිබේ. මෙසේ මියගොස් ඇත්තේ නාරන්තනෙයි ප්‍රදේශයේ පදිංචි සතිෂ් සංජිත් නමැති දරුවෙකි. ඔහුගේ පියා තවත් අයකු සමග එක්ව අත් ට්‍රැක්ටරයක් අලුත්වැඩියා කර ඇති අතර ඉතිරි වූ ඩීසල් හිස් සිසිල් පැන් බෝතලයකට දමා තිබේ.

එම බෝතලයේ ඇත්තේ තමන් වෙනදා මෙන් පානය කරන සිසිල් පැන් යැයි සිතූ ළමයා බෝතලයේ තිබූ ඩීසල් පානය කර තිබේ.

දරුවා ඒ සමගම අසාත්මිකතාවයක් පෙන්නුම් කිරීම නිසා වහාම කයිට්ස් රෝහලට රැගෙන ගොස් ඇති අතර තත්ත්වය අසාධ්‍ය නිසා එම ළමයා යාපනය ශික්ෂණ රෝහලට මාරු කර එහි ප්‍රතිකාර ලබද්දී මියගොස් තිබේ. මියගිය දරුවා සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා මළ සිරුර අවසන් කටයුතු සිදු කිරීම පිණිස පවුලේ ඥාතීන් වෙත භාර දී තිබේ. කයිට්ස් පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි මෙහෙයවා මරණ පරීක්ෂණ කටයුතු පවත්වා තිබේ.

Leave a Reply

Your email address will not be published.