ඉන්දු – පාකිස්ථාන මත ගැටුම තවත් දුර දිග යයි

ඉන්දියාවේ පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් මේ වන විට දෙරට අතර ඇතිව ඇති මත ගැටුම් තවදුරත් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව ඉන්දියාව විසින් පාකිස්ථානයට එරෙහිව තැබූ තවත් දැඩි පියවරක් ලෙස පාකිස්ථානයෙන් ආනයනය කරනු ලබන සියලුම ආනයන තහනම් කිරීමට පියවර ගෙන ඇත.

ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ ජාතික ආරක්ෂාව සහ රාජ්‍ය ප්‍රතිපත්තියේ යහපත සඳහා මෙම පියවර ගෙන ඇති බව ඉන්දීය රජය පැවසූ බවය.

පහල්ගම් ප්‍රහාරයෙන් පසුව ඉන්දියාව සහ පාකිස්ථානය අතර ඇති එකම වෙ‍ෙළඳ මාර්ගය වන වාගා – අත්තරි හරස් මාර්ගය දැනටමත් වසා දමා තිබේ.

ඉන්දියාව පාකිස්ථානයෙන් ආනයනය කරනු ලබන භාණ්ඩ අතරට ප්‍රධාන වශයෙන් ඖෂධ නිෂ්පාදන, පලතුරු, බීජ ඇතුළත් විය. 

මේ අතර ඉන්දියාව විසින් පාකිස්ථාන නැව් ඉන්දියානු වරායන්ට ඇතුළු වීමද තහනම් කර තිබේ.

ඉන්දියාවේ වරාය, නාවික හා ජල මාර්ග අමාත්‍යංශය පැවසුවේ පාකිස්ථාන ධජය සහිත නැව් ඉන්දීය වරායන්ට ඇතුළු වීම තහනම් කළ බවත් ඉන්දීය ධජය සහිත නැව් පාකිස්ථාන වරායන්ට පිවිසීමද තහනම් කළ බවය.

විදෙස් මාධ්‍ය මේ වන විට වාර්තා කර ඇත්තේ පාකිස්ථාන ආනයන තහනම් කිරීමට ඉන්දියාව පියවර ගැනීමත් සමග පාකිස්ථානු ආර්ථිකයට දැවැන්ත පහරක් එල්ල වනු ඇති බවය.

පසුගිය 22 වැනි දින සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු දෙරට අතර තිබූ සබඳතා පළුදු වූ අතර මේ හේතුවෙන් ඉන්දීය රජය පාකිස්ථානයට එරෙහි පියවරයන් රැසක් ගනු ලැබීය.

එහි ප්‍රතිඵලයක් ලෙස ඉන්දියාව 1960 දී දෙරට අතර අත්සන් කරන ලද තීරණාත්මක ජල බෙදා ගැනීමේ ගිවිසුමක් වූ ඉන්දු ජල ගිවිසුම අත්හිටුවීමටද පියවර ගැනුණි.

එමෙන්ම ඉන්දියාවේ සිටින සියලුම පාකිස්ථාන ජාතිකයින්ගේ වීසා අවලංගු කිරීමට ඉන්දියානු රජය පියවර ගත් අතර ඔවුන්ට රටින් පිටවීම සඳහා දිනයක්ද ලබා දී තිබුණි. 

මෙම වීසා අවලංගු කිරීම් අතරට වෛද්‍ය වීසා ද ඇතුළත් වූ අතර ඊට ප්‍රතිචාර වශයෙන් පාකිස්තානය සිම්ලා ගිවිසුම ඇතුළුව ඉන්දියාව සමග ඇති සියලු ද්විපාර්ශ්වික ගිවිසුම් අත්හිටුවන බවටත් පවසා තිබුණි.

එමෙන්ම පාකිස්ථාන යූ ටියුබ් නාලිකා ඉන්දියාවේ තහනම් කිරීමට ඉන්දියාව පියවර ගත් අතර ඊට දින කිහිපයකට පසු පාකිස්ථාන ගුවන් විදුලිය තුළ ඉන්දියානු ගීත ප්‍රචාරය කිරීම තහනම් කිරීමටද පාකිස්ථානය පියවර ගෙන තිබුණි.

පාකිස්ථාන විකාශන සංගමය නිවේදනය කළේ වහාම ක්‍රියාත්මක වන පරිදි රට පුරා ඇති සියලුම ඉන්දියානු ගීත ගුවන්විදුලි මධ්‍යස්ථානවලින් ඉවත් කරන බවය.

මේ අතර ඉන්දියාව විසින් පාකිස්ථාන ක්‍රිකට් ක්‍රීඩකයින් රැසකගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම් ඉන්දියාව තුළ අවහිර කිරීමටද පියවර ගෙන තිබේ.

ඒ අනුව මේ වන විට  ටෙස්ට් නායක ෂාන් මසූඩ්, වේග පන්දු යවන්නන් වන හසන් අලි සහ නසීම් ෂා, පිතිකරු ඉමාම්-උල්-හක්, තුන්ඉරියව් ක්‍රීඩක ෂදාබ් ඛාන්, බාබර් අසාම්, මොහොමඩ් රිස්වාන් සහ වසීම් අක්‍රම්ගේගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම් ඉන්දියාව තුළ අවහිර කිරීමට ඉන්දීය රජය පියවර ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published.