බෙලරූස් රාජ්‍යයේදී එරට පොලිසිය අත්අඩංගුවට ගැනීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඊයේ (04දා) අලුයම මෙරටට රැගෙන ආ පාතාල කල්ලි නායක ‘ලොකු පැටී’ නමැත්තා ක්ලබ් වසන්ත ඝාතනය ඇතුළු මිනිස් ඝාතන 10ක තොරතුරු හෙළි කිරීමට පටන්ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග පැවසීය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටි මෙම පාතාල නායකයා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය වෙත ඊයේ භාරදී තිබිණි.
වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත වෙඩි තබා ඝාතනය කර තිබුණේ විදෙස් ගතව සිටින පාතාල නායක කංජිපානි ඉම්රාන්ගේ නියෝග සහ උපදෙස් මත ලොකු පැටීගේ මෙහෙයවීමෙන් බව පොලිසිය පවසයි.
දේශසීමා නීති උල්ලංඝනය කරමින් ලොකු පැටී රුසියාවට පලායෑමට උත්සාහ කිරීමේදී බෙලරූස් රාජ්‍යයේදී ඔහු එරට පොලිසියට කොටුවී තිබුණේ මීට මාස 3කට පමණ පෙරය.
මොහු එරට පොලිස් නිලධාරීන්ට කෝටි ගණනින් මුදල් ලබා දී බේරී යෑමට උත්සාහ කර තිබුණ ද එය සාර්ථක වී තිබුණේ නැත.
බෙලරූස් රාජ්‍යයේ පොලිසිය ජාත්‍යන්තර පොලිසිය හරහා ලොකු පැටී අත්අඩංගුවට ගැනීම පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත දැනුම් දී තිබිණි. ඒ අනුව මෙම පාතාල නායකයා තමන්ට භාරදෙන ලෙස අපරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බෙලරූස් රාජ්‍යයේ පොලිසිය වෙත ඉල්ලීමක් කළේය.
එහි ප්‍රතිඵලයක් ලෙස මෙම පාතාල නායකයා ශ්‍රී ලංකා පොලිසිය වෙත භාරදීමට බෙලරූස් පොලිසිය පියවර ගත්තේය. ඒ අනුව බෙලරූස් රාජ්‍ය වෙත ගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු ඊයේ අලුයම කටුනායක ගුවන්තොටුපළෙන් ලොකු පැටී මෙරටට රැගෙන ආහ.
මත්තුවාහංදි සුජීව රුවන් කුමාර හෙවත් ‘ලොකු පැටී’ දකුණේ ප්‍රධාන පෙළේ පාතාල නායකයකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු බව පොලිසිය පවසයි.
ලොකු පැටී නමැති පාතාල නායකයාට එරෙහිව 2016 වර්ෂයේ මැයි 21 හෙරොයින් සන්තකයේ තබාගෙන සිටීම, 2017 වර්ෂයේ මැයි 09 පිළියන්දලදී වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් කිරීම, 2021 වර්ෂයේ ඔක්තෝබර් 08 වැනිදා වැලිපැන්නේදී අත්බෝම්බ, රිවෝල්වරයක් සහ ජීව උණ්ඩ සමග අත්අඩංගුවට පත්වීම ඇතුළු චෝදනා ඇති බව පොලිසිය පවසයි.
මෙම පාතාල නායකයා විදෙස් ගතව සිටියදී මෙහෙයවා ඇති අපරාධ මෙසේය. 2022 අගෝස්තු මස 24 වැනිදා අහුංගල්ලේදී පුද්ගලයකුට වෙඩි තැබීම, එම වසරේම සැප්තැම්බර් 23 වැනිදා අහුංගල්ලේදී පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිරීම, 2024 වර්ෂයේ ජනවාරි 18 අම්බලන්ගෙඩ මාළු ව්‍යාපාරිකයකු ඝාතනය, පාතාල කල්ලියක් යොදවා ඔවුන් අවි ආයුධත් සමග අත්අඩංගුවට පත්වීම, 2024 වර්ෂයේ ජූලි 08 වැනිදා අතුරුගිරිය ප්‍රදේශයේදී ක්ලබ් වසන්ත සහ තවත් පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කර ගායන ශිල්පිනි කේ. සුජීවා ඇතුළු වසන්තගේ බිරිඳට බරපතළ තුවාල කිරීම ලොකු පැටීගේ මෙහෙයවීමෙන් සිදුකළ අපරාධ අතර ඇති බව පොලිසිය පවසයි.
ඊට අමතරව දකුණු පළාතේ සිදුවූ තවත් මිනිස් ඝාතන රැසක්, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ කප්පම් ගැනීම් ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් ලොකු පැටීට එරෙහිව චෝදනා එල්ලවී තිබෙන බව පොලිසිය පවසයි.
මෙම පාතාල කල්ලි නායකයා අධිකරණය වෙත ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබා ගෙන ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමට කටයුතු කරන බව පොලිසිය පවසයි.
නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙණිය මහතාගේ අධීක්ෂණය යටතේ වැඩිදුර විමර්ශන පැවැත්වෙයි.