කොටහේන වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

කොටහේන පොලිස් වසමේ සුමිත්‍රාරාම පාර ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයෙකුට හා කාන්තාවකට බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියට අදාළව සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම අපරාධයෙන් පසු පලාගිය සැකකරුවෙකු හා අපරාධයට ආධාර අනුබල දුන් සැකකරුවෙකු නීතිඥවරුන් මාර්ගයෙන් ඊයේ (17) කොටහේන පොලිස් ස්ථානයට හා කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයට වෙත භාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 17 හා 18 වයස්වල පසුවන කොළඹ 13 ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.

සැකකරුවන් අද (18) අලුත්කඩේ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

කොටහේන පොලිසිය හා කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

පසුගිය 16 වනදා කොටහේන පොලිස් වසමේ සුමිත්‍රා මාවත ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් පිස්තෝල අවියකින් වෙඩි තබා පුද්ගලයෙකුට හා කාන්තාවකට බරපතල තුවාල සිදුකර තිබුණි.

Leave a Reply

Your email address will not be published.