වසර 136ක අතීතයක් අබිබවා යන්න සැරසෙන බෙතෙල්

එංගලන්ත විස්සයි20 ක්‍රිකට් කණ්ඩායම ඉදිරියේ දී සිදුකිරීමට නියමිත අයර්ලන්ත තරග සංචාරයේ කණ්ඩායම් නායකත්වයට 21 හැවිරිදි ජේකබ් බෙතෙල් නම්කිරීමට තීරණය කර තිබේ.

තරග 3කින් යුත් මෙම තරගාවලිය එළැඹෙන සැප්තැම්බර් මස පැවැත්වීමට නියමිතව ඇති අතර, ඒ සඳහා නවක ක්‍රීඩකයන්ගෙන් සමන්විත කණ්ඩායමක් නම් කිරීමට ද එංගලන්ත – වේල්ස් ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත.

මෙම සංචාරයට පෙර එංගලන්තය එරටදී දකුණු අප්‍රිකාව සමගින් එක්දින හා විස්සයි20 තරගාවලියකට ක්‍රීඩාකිරීමට නියමිතය.

ඒ සඳහා ක්‍රීඩා කරන නිත්‍ය නායක හැරී බෲක් විවේක ගැන්වීමට තීරණය කර ඇති හෙයින් මෙලෙස බෙතෙල්ට අයර්ලන්ත සංචාරයේ නායකත්වය ලබාදීමට තීරණය කර ඇති බව සඳහන්.

බෙතෙල්ට නායකත්වය හිමිවුවහොත් ඔහු එංගලන්ත ක්‍රිකට් ඉතිහාසයේ ජාත්‍යන්තර තරගයක් මෙහෙයවන ලාබාලම නායකයා වනු ඇත.

එංගලන්තය නියෝජනය කරමින් ආකෘති ත්‍රිත්වයම නියෝජනය කරන බෙලෙල් මේ දක්වා ජාත්‍යන්තර තරග 29කදී ලකුණු 869ක් රැස්කර ඇත. 

ඊට අර්ධ ශතක 8ක් ඇතුළත්. එමෙන්ම ජාත්‍යන්තර කඩුලු 14කට හිමිකම් කියයි.

එතෙක් මෙතෙක් එංගලන්තයෙන් බිහි වූ ලාබාලම නායකයා  මොන්ටි බව්ඩන් වන අතර, ඔහු නායකත්වයට පත්ව ඇත්තේ වයස අවුරුදු 23යි දින 144ක් වද්දීය.

ඒ මීට වසර 136කට පෙර එනම්, 1889 වසරේ දී දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති ටෙස්ට් තරගයකදීය.

එංගලන්තයෙන් බිහිවූ 61වන ටෙස්ට් නායකයා වූ ඔහු වයස අවුරුදු 26දී එනම් 1892 වසරේ දී සිම්බාබ්වේ දී අභාවප්‍රාප්ත වී ඇත.

අපස්මාරයෙන් පෙළී ඇති ඔහු කරත්තයෙන් වැටී, ඔහුගේම ගොනුන්ගේ කුරවලට පැගී මියගොස් ඇති බව සඳහන්.

Leave a Reply

Your email address will not be published.