ගතවූ පැය 24ට රිය අනතුරුවලින් සිව්දෙනෙකු මරුට

ගතවූ පැය 24 තුළ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් තරුණයින් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තිබේ.

ඊයේ (04) මෙම අනතුරු සිදුව තිබුණේ වැල්ලම්පිටිය, කටුවන, වෙරළබඩ සහ තංගල්ල පොලිස් වසම්වලදීය.

තොටළඟ අඹතලේ මාර්ගයේ කිත්තම්පහුව ප්‍රදේශයේදී යතුරුපැදියක් මාර්ගයේ නවතා තිබූ ලොරි රථයක පිටුපස ගැටී අනතුරක් සිදුව ඇත.

අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව පොලීසිය පවසයි.

එලෙස මියගොස් ඇත්තේ, කිත්තම්පහුව, වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 22 හැවිරිදි තරුණයෙකි.

මේ අතර වලස්මුල්ල – මිද්දෙණිය මාර්ගයේ තිරුවානාබොරැල්ල ප්‍රදේශයේ වංගුව අසලදී මඟී ප්‍රවාහන බස් රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදුව ඇත.

අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු වලස්මුල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ. 

එලෙස මියගොස් ඇත්තේ, හිඳකරල්දෙණිය, කටුවන ප්‍රදේශයේ පදිංචිව සිටි 24 හැවිරිදි තරුණයෙකි.

මේ අතර වෙරළබඩ පොලිස් වසමේ කොළඹ වරාය පරිශ්‍රයේ වයි හන්දිය අසලදී කොළඹ දෙසට ධාවනය වූ කන්ටේනර් රථයක් ඉදිරියෙන් ගමන් කල යතුරුපැදියක ගැටී අනතුරක් සිදුව ඇත.

අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ.  

එලෙස මියගොස් ඇත්තේ, පිලියන්දල ප්‍රදේශයේ පදිංචිව සිටි 49 හැවිරිදි පුද්ගලයෙකි.

මේ අතර කොළඹ – වැල්ලවාය මාර්ගයේ මොරකැටිආර ප්‍රදේශයේදී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් මාර්ගය හරහා ගමන් කල පදික පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව ඇත.

අනතුරින් බරපතළ තුවාල ලැබූ පදික පුද්ගලයා තංගල්ල රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ.

එලෙස මියගොස් ඇත්තේ, කොස්වත්ත, සීනිමෝදර ප්‍රදේශයේ පදිංචිව සිටි 43 හැවිරිදි පුද්ගලයෙකි.

Leave a Reply

Your email address will not be published.