විශ්‍රාමික ගුරු විදුහල්පතිවරු හෙට පාර්ලිමේන්තුව අසල උද්ඝෝෂණයක

1997 සිට 2021 දක්වා කාලය අතරතුර විශ්‍රාම ලබාගත් ගුරු හා විදුහල්පතිවරු අසු පන්දහසක (85,000) පමණ පිරිසකට වැටුප්, වැටුප් වර්ධක, විශ්‍රාම වැටුප් පාරිතෝෂිකය හා විශ්‍රාම වැටුප 60%ක් පුරා වසර 24 ක කාලයක් තිස්සේ අඩුවෙන් ගෙවීම නිසා සිදුව ඇති බරපතළ අසාධාරණයට කිසිදු පිළිගතහැකි විසඳුමක් මේ දක්වා නොලැබීම නිසා මෙසේ නිහඬ විරෝධතාවක් පැවැත්වීමට කටයුතු කරන බව විශ්‍රාමික ගුරු හා විදුහල්පතිවරුන්ගේ ජාතික සංවිධානයේ ප්‍රධාන ලේකම් අනිල් පුෂ්පකුමාර මහතා පවසයි.
වත්මන් ජනාධිපතිවරයා 2024 ජුලි 19 දින මහරගම පැවැති විශ්‍රාමිකයන්ගේ ජාතික සමුළුවට සහභාගි වෙමින් පැවැසුවේ තමන්
බලයට පත්වී ඉතා කෙටි කාලයක් තුළ මෙම විශ්‍රාමික වැටුප් විෂමතා ගැටලුවට විසඳුම් ලබාදෙන බවත් රාජ්‍ය සේවක වැටුප් වැඩි වීමට සාපේක්ෂව විශ්‍රාමිකයන්ට තම ජීවිතය පවත්වාගෙන යෑම සඳහා අවම වශයෙන් 70%ක වැටුප් වැඩි වීමක්වත් ලබාදීම තමන් පිළිගන්නා බවය.
විශ්‍රාමික ගුරුවරුන් හා විදුහල්පතිවරුන් මුහුණ දී ඇති මෙම ගැටලුව සම්බන්ධයෙන් දැනට මාස 6ක පමණ කාලයක සිට තම සංවිධානය විසින් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු සමඟ සාකච්ජා කිරීම, ඉල්ලීම් ලිපි, පෙත්සම් හා සංදේශ ඉදිරිපත් කිරීම, මාධ්‍ය සාකච්ඡා පැවැත්වීම ඇතුළු විවිධ ක්‍රියාමාර්ග දියත් කළ ද ඒවායින් ප්‍රතිඵලයක් අත්නොවූ නිසා 2026 අය-වැය යෝජනා ඉදිරිපත් කරන මේ මොහොතේ තමන්ට සාධාරණය ඉටු කර ගැනීම සඳහා තවදුරටත් රජයට බලපෑම් කීම වෙනුවෙන් තම සංවිධානයේ සාමාජිකත්වය මෙසේ දියවන්නාවට පැමිණීමට තීරණය කළ බව ප්‍රධාන ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published.