2026 නව වසර සැමරීම සඳහා හෙට (31) දින කොළඹ නගරය වෙත පිට පළාත් වලින් නව වසර උදාව සැමරීම සඳහා විශාල ජනතාවක් සහ රථවාහන ප්‍රමාණයක් කොළඹ නගරය වෙත විශේෂයෙන් ගාලු මුවදොර ප්‍රදේශය වෙත පැමිණිම අපේක්ෂා කරන බව පොලීසිය පවසයි.
එබැවින් එසේ පැමිණීමේ දී ඇතිවිය හැකි රථවාහන තදබදය අවම කර ගැනීම සඳහා හා එම ජනතාවගේ ආරක්ෂාව සඳහා ශ්‍රී ලංකා පොලීසිය විසින් විශේෂ රථවාහන සැලැස්මක් හා ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
නව වසර උදාව හේතු කොට ගෙන විශේෂයෙන් කොළඹ නගරයේ කොටුව, පිටකොටුව, කොම්පඤ්ඤ වීදිය, මරදාන, කොල්ලුපිටිය, බම්බලපිටිය හා කුරුඳුවත්ත යන පොලිස් වසම් වල මෙසේ අධික රථවාහන තදබදයක් ඇතිවිය හැකි බවට අපේක්ෂා කරනු ලැබේ.
එසේ වුවද, හෙට දිනයේ මෙම පොලිස් වසම් වල සාමාන්‍ය පරිදි රථවාහන ගමනාගමනය සිදු කරන අතර අධික රථවාහන තදබදයක් ඇතිවන අවස්ථා වලදි පමණක් අවස්ථානුකූලව පහත පරිදි රථවාහන ගමනාගමනය සිදු කිරීමට සැලසුම් කර ඇත.
ගාලු මැද පාර ඔස්සේ කොළඹින් පිට වීම – එන්.එස්.ඒ. වටරවුම, ගාලු මැද පාර, බාලදක්ෂ මාවත හන්දියෙන් වමට (එම් ඕඩී හන්දිය) බාලදක්ෂ මාවත, අලියා නාන වටරවුම, මාකන් මාකර් මාවත, ගාලු මුවදොර වටරවුම ඔස්සේ කොල්ලුපිටිය දෙසට ගමන් කිරීම.
ගාලු මැද පාර, ගාලුමුවදොර වටරවුම සිට කොළඹට ඇතුළු වන රථ වාහන බාලදක්ෂ මාවත හන්දිය දක්වා සහ ඉන් ඉදිරියට ගමන් කිරීම.
ගාලු මුවදොර වටරවුමේ සිට මාකන් මාකර් මාවත ඔස්සේ අලියා නාන වටරවුම දෙසට හෝ අලියා නාන වටරවුම දෙස සිට බාලක්ෂ මාවත ඔස්සේ ගාලු මැද පාරට ගමන් කල නොහැකි බව දැනුම් දී තිබේ.
බාලදක්ෂ මාවතේ අතුරු මාර්ග වලින් පැමිණෙන සියලු වාහන දකුණට හරවා අලියා නාන වටරවුම ඔස්සේ කොළඹින් පිටවිය හැකි අතර ගාලු මැද පාරට අතුරු මාර්ග වලින් ඇතුළු වන සියලුම වාහන දකුණට හරවා එන් එස් ඒ වටරවුම දෙසට ගමන් කිරීම.
ඉහත රථවාහන සැලැස්ම ක්‍රියාත්මක කිරීමේදි කොළඹ නගරයේ පදිකවේදිකා මත සහ ප්‍රධාන මාර්ගයන් අවහිර වන ලෙස කිසිඳු රථ වාහනයක් නවතා තැබීමට ඉඩ ලබා නොදෙන අතර එවැනි ආකාරයට රථවාහන නීති උල්ලංඝණය කරනු ලබන රියදුරන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනු ලැබේ.
මෙම රථවාහන හා ආරක්ෂක රාජකාරි සඳහා පොලිස් නිලධාරීන් 1,200 ක් පමණ ප්‍රමාණයක් යෙදවීමට සැලසුම්කර ඇත.
මෙසේ කොළඹට පැමිණෙන රථවාහන පහත සඳහන් රථගාල් වල ගාල් කර තැබීමේ පහසුකම් සලසා ඇති අතර එම රථගාල්වල රථවාහන 5,900 කට පමණ ගාල් කිරීමේ පහසුකම් සලසා ඇත.

