විසිතුරු මල් පැළ 386ක් සමග 19 හැවිරිදි අයෙක් කටුනායකදී අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වූ රුපියල් ලක්ෂ හයක් වටිනා විසිතුරු මල් පැළ තොගයක් සමග ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (10) අලුයම රේගු ජෛව විවිධත්ව, සංස්කෘතික හා ජාතික උරුමයන් ආරක්ෂණ අංශයේ නිලධාරීන් සහ කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් එක්ව අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මීගමුව, කොච්චිකඩේ ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි අයෙකි.

ඔහු අද (10) අලුයම 12.35ට තායිලන්තයේ බැංකොක් නුවර සිට තායි ගුවන් සේවයේ ටී.ජී.- 307 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

ඔහු විසින් රැගෙන ආ ගමන් මලු 03ක් තුළ තිබී ප්‍රිලෝඩෙන්ඩ්‍රම්, ඇග්ලෝනිමා, ඇලොකේශියා සහ මොන්ස්ටෙරා වර්ගවල විසිතුරු මල් පැළ 386ක් සොයා ගෙන ඇත.

මේ සම්බන්ධයෙන් කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

Leave a Reply

Your email address will not be published.