ජීවිත හානි සිදුකරමින්, කෝටි ගණනක් වටිනා පොදු දේපළ විනාශ කරමින් මෙරට බන්ධනාගාර ආශ්‍රිතව මතුව ඇති ගැටලුකාරි තත්ත්වයන් මේවන විට රටේම අවධානයට ලක්ව තිබේ.
බන්ධනාගාර ආශ්රිත එවන් තත්ත්වයක් නිර්මාණය වීමට හේතු කවරේදැයි අද දෙරණ විශේෂ සොයාබැලීමක් සිදු කරන ලදී.
“රජකාලේ දඬුවම්” යන ක්‍රමවේදයෙන් බැහැරව මෙරටට විධිමත් අධිකරණ ක්‍රියාවලියක් මෙන්ම ඒ ඔස්සේ නිසි බන්ධනාගාර පද්ධතියක් නිර්මාණය වන්නේ රෝම ලන්දේසි නීතිය යටතේය.
එය හුදු දඬුවමට එහා ගොස්, මානව හිමිකම් ආදී සංකල්ප මත “සිරකරුවන් පුනරුත්ථාපනය” යන ක්‍රමවේදයට ද යොමුවීමකි.
එවැනි සංකල්පයක් පැවතියත් මෙරට බන්ධනාගාර තුළ කාලයෙන් කාලයට ඇතිවන ගැටුම් ඉතිහාසයට කළු පැල්ලම් එක් කළේය.
2012 වැලිකඩ බන්ධනාගාර ගැටුම, 2020 මහර බන්ධනාගාරයේ නොසන්සුන්තාව හුදු සිරකරු ගැටුම් ම නොව මෙරට බන්ධනාගාර පද්ධතියේ ගැටලු පිළිබඳ රතු එළි ලෙස හඳුනාගත හැකිය.
ඒවාට ඇලවූ පැලැස්තර විසඳුම් නිසා ඉතිරි වී තිබූ අළු යට ගිනි යළි ඇවිළෙන්නේ ඉකුත් ජූලි මස මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන්තාවෙනි.
පසුව එය මහර, මැගසින්, කුරුවිට මෙන්ම තරුණ රැඳවියන්ට වෘත්තීය පුහුණුව ලබාදීමේ අභිලාෂයෙන්ම ඇරඹි පල්ලන්සේනටත් ව්‍යාප්ත විය.
ජීවිත අහිමිවීම්, කෝටි ගණනක් වටිනා බන්ධනාගාර දේපළ විනාශවීම් දිගින් දිගටම පෙන්වූයේ පවතින ක්‍රමය තුළ මොනයම්ම හෝ ගැටලුවක් ඇතැයි යන ප්‍රශ්නාර්ථයකි.
2012 වැලිකඩ බන්ධනාගාර ගැටුම සහ 2020 මහර බන්ධනාගාරයේ ගැටුමට හේතු සෙවීමට රජය පත්කළ කොමිෂන් සභා ලබාදුන් වාර්තාවල පැහැදිලිව සඳහන් වුණේ බන්ධනාගාර පද්ධතියේ පවතින අධික තදබදය මෙවන් ගැටලු රැසකට පදනම සපයන බවය.
එය බන්ධනාගාර තුළ මත්ද්‍රව්‍ය සංසරණය වැනි ගැටලු මැද ඇති තවත් දරුණු අර්බුදයක් බව පෙන්වාදිය හැකිය.
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට අනුව, දිවයින පුරා බන්ධනාගාර 36ක රැඳවිය හැකි උපරිම රැඳවියන් ගණන 10,500කි.
නමුත් 2026 වසරේ අගෝස්තු 01 වැනිදා වන විට බන්ධනාගාර තුළ 39,400 කට ආසන්න රැඳවියන් සංඛ්‍යාවක් සිටීමෙන් එම තදබදය මනාව තහවුරු වේ.
එනම් මෙරට බන්ධගානාගාර තුළ වර්තමානයේ රඳවා සිටින රැඳවියන් ප්‍රමාණය එහි ධාරිතාවට වඩා තුන්ගුණයකටත් අධිකය.
මීගමුව බන්ධගාරයේ ධාරිතාව රැඳවියන් 820ක් වුවත් ජුලි මාසයේ ගැටුම ඇතිවන අවස්ථාවේදී එහි රැඳවියන් 2418 කට ආසන්න පිරිසක් රඳවා තබා තිබුණි.
මහර බන්ධනාගාරයේ රැඳවියන් 1200කට පමණක් පහසුකම් ඇතත් එහි වර්තමානයේ සිටින රැඳවියන් ප්‍රමාණය 4078කට ආසන්නය.
පල්ලන්සේන බන්ධනාගාරයේ රැඳවියන් 1000ක් පමණක් රඳවා තැබිය හැකි නමුත් එහි වර්තමානයේ සිටින රැඳවියන් 2000කට ආසන්න පිරිසක් සිටිති.
මෙවැනි අධික තදබදයක් තුළ සිරකරුවන් පුනරුත්ථාපනය කිරීම සාර්ථක කටයුත්තක් ද?
ලොව හොඳම බන්ධනාගාර පද්ධතියක් ඇතැයි දැක්වෙන්නේ නෝර්වේ රාජ්‍යයේය.
දඬුවම පමණක් නොව වරදකරුවන් පුනරුත්ථාපනය කිරීම, සමාජානුයෝජනය සහ මානව හිමිකම් ආරක්ෂා කිරීම මුල් කරගත් ක්‍රියාවලියකින් එරට බන්ධනාගාර ක්‍රමය සමන්විතය.
මෙම ක්‍රමය හේතුවෙන් එරට යමෙක් දෙවරක් බන්ධනාගාරගත වීමේ සම්භාවිතාව 20%ටත් අඩු අගයක් බවයි සමීක්ෂණ වාර්තා පවසයි.
ස්වීඩනය ද එවන් ක්‍රමවේදයක් පවතින රටකි.
මෙවැනි සෑම සාර්ථක බන්ධනාගාර ක්‍රමයකම පවතින මූලික ලක්ෂණයක් වන්නේ බන්ධනාගාරයකට දැරිය හැකි ප්‍රමාණයට පමණක් සිරකරුවන් ඊට ඇතුළත් කිරීමය.
මෙම සෑම ක්‍රමයක්ම ශ්‍රී ලංකාවට 100% ආදේශ කරගත නොහැකි වුවත් ගැටුම් අවම පද්ධතියක් සඳහා මෙරට බන්ධනාගාර ක්‍රමය කඩිනමින් වෙනස් විය යුතු බව නොරහසකි.
කමිටු වාර්තා, වාර්තාවකට පමණක් සීමා නොවී බන්ධනාගාරය අපරාධකරුවන් තනන ස්ථානයක් නොකර වැරදි හදන ස්ථානයක් වන්නේ නම් අදට වඩා හෙට සමාජය සුබදායක වනු ඇත.


