විදේශයන්හි ඇති මෙරට සංස්කෘතික උරුමයන් යළි ගෙන ඒමට විශේෂ මෙහෙයුම් කමිටුවක්

යුනෙස්කෝ (UNESCO) ප්‍රඥප්තියට අනුව යමින්, යටත් විජිත යුගයේදී විදේශ රටවලට ගෙන යන ලද ශ්‍රී ලාංකේය සංස්කෘතික දේපළ හා කෞතුක වස්තු නැවත මෙරටට ප්‍රතිෂ්ඨාපනය කිරීමේ (පවරා ගැනීමේ) කටයුතු විධිමත් කිරීම සඳහා විශේෂ මෙහෙයුම් කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.

මෙම කමිටුව ‘විදේශයන් සතුව පවතින ශ්‍රී ලාංකේය සංස්කෘතික උරුම ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා වන කමිටුව’ ලෙස නම් කර ඇති අතර, එය බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයාගේ (සංස්කෘතික ප්‍රවර්ධන සහ විදේශ) ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වනු ඇත.

යුනෙස්කෝ ආයතනයේ 1970 සංස්කෘතික දේපළවල නීති විරෝධි ආනයනය, අපනයනය සහ අයිතිය පැවරීම තහනම් කිරීම පිළිබඳ ප්‍රඥප්තියේ අංක 7 සහ 13 දරන වගන්ති යටතේ, විදේශයන් සතුව පවතින සංස්කෘතික දේපළ යළි ඉල්ලා සිටීමේ අයිතිවාසිකම අදාළ රටවලට පැවරී ඇත.

මෙම ක්‍රියාවලියේ පළමු අදියර ලෙස, 2023 වර්ෂයේදී නෙදර්ලන්තයේ ඇමස්ටර්ඩෑම් හි ‘Rijksmuseum’ කෞතුකාගාරයේ තිබූ ලෙව්වේ දිසාවගේ කාල තුවක්කුව, මහ තුවක්කු 02ක්, කොපු සහිත කස්තාන 02ක් සහ කොපු සහිත පිහියක් ඇතුළු වටිනා කෞතුක භාණ්ඩ 06ක් ශ්‍රී ලංකාවට නිල වශයෙන් ලබා දීමට කටයුතු කෙරිණි.

ඉදිරියටත් නෙදර්ලන්ත කමිටුව සමඟ කෞතුක භාණ්ඩ ප්‍රතිෂ්ඨාපන ක්‍රියාවලිය පිළිබඳව සෘජුව අදහස් හුවමාරු කරගැනීමටත්, යටත් විජිත සමයේ විදේශගත වූ මෙරට සංස්කෘතික දේපළ යළි ලබා ගැනීමේ කටයුතුවලදී රජයට අවශ්‍ය විශේෂ උපදෙස් ලබා දීමටත් මෙම නව කමිටුව මඟින් විශාල දායකත්වයක් ලබා දීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published.