නාවික හා ධීවර ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්

බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු තීරයේ යාත්‍රා කරන බහුදින ධීවර සහ නාවික ප්‍රජාව සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අනතුරු ඇඟවීමේ ‘රතු’ නිවේදනයක් නිකුත් කර තිබේ.

අද (24) පස්වරු 04.30ට නිකුත් කරන ලද මෙම නිවේදනය ඉදිරි පැය 24 සඳහා වලංගු වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී.

උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය, අද (24) දින පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමට බොහෝ දුරට ඉඩ පවතින බව එහි දැක්වේ.

එම පද්ධතිය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් තවදුරටත් වර්ධනය වී හෙට (25) දිනයේ දී ගැඹුරු පීඩන අවපාතයක් බවට පත්වීමට නියමිතය.

එමෙන්ම අනිද්දා (26) උදෑසන වන විට බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව එය සුළි කුණාටුවක් බවට පත්වීමේ ඉතා ඉහළ සම්භාවිතාවක් පවතින බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ හේතුවෙන් උතුරු අක්ෂාංශ 10ත් 20ත් සහ නැගෙනහිර දේශාංශ 85ත් 95ත් අතර මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙසට උපදෙස් ලබා දී තිබේ.

එමෙන්ම එම මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදී සිටින පිරිස් වහාම ආරක්ෂිත ප්‍රදේශ කරා යාත්‍රා කළ යුතු බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටී.

එබැවින් ඉදිරියේදී නිකුත් කෙරෙන නිවේදන සහ අනාවැකි පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *