සයිබර් ප්‍රහාරයක සැකය හමුවේ Binance ගනුදෙනු තාවකාලිකව නවතයි

ලොව විශාලතම ක්‍රිප්ටෝ මුදල් හුවමාරු වේදිකාව වන Binance ආයතනයේ ආරක්ෂක පද්ධතියට සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බවට සැක මතුවීමත් සමග අමෙරිකානු ඩොලර් බිලියන 3ක පමණ වටිනාකමකින් යුත් ඩිජිටල් වත්කම් අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, මෙම සිද්ධිය ලෝක ක්‍රිප්ටෝ මුදල් ඉතිහාසයේ විශාලතම සොරකම බවට පත්විය හැකි බවයි.

ඊයේ (29) හඳුනාගත් මෙම ආරක්ෂක ගැටලුව සම්බන්ධයෙන් Binance ආයතනය මේ වනවිට විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Binance සම නිර්මාතෘ යී හේ (Yi He) ප්‍රකාශ කර ඇත්තේ, සයිබර් ප්‍රහාරය හේතුවෙන් සිදුවන සියලු අලාභ පියවා දීමට සමාගම කටයුතු කරන බවයි.

එමෙන්ම Binance සම නිර්මාතෘ සහ හිටපු ප්‍රධාන විධායක නිලධාරී චැන්ග්පෙන්ග් ෂාඕ (Changpeng Zhao) සිය X ගිණුමේ සටහනක් තබමින් මෙම සිද්ධිය සයිබර් ප්‍රහාරයක් ලෙස පෙනී යන බව සඳහන් කර තිබෙනවා.

කෙසේ වෙතත්, සයිබර් ප්‍රහාරයක් සිදුවූ බව මෙතෙක් නිල වශයෙන් තහවුරු කර නොමැති අතර, සොරකම් කර ඇති බවට සැක කෙරෙන වත්කම්වල නිශ්චිත වටිනාකමද අනාවරණය වී නොමැති බව සඳහන්.

මෙම සිද්ධියත් සමග ලොව ප්‍රධාන පෙළේ ස්ටේබල්කොයින් (Stablecoin) නිකුත් කරන Tether සහ Circle සමාගම්ද සිද්ධියට සම්බන්ධ බවට හඳුනාගත් ඩිජිටල් වත්කම් අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව Tether සමාගම අමෙරිකානු ඩොලර් බිලියන 1.57කට ආසන්න වත්කම් ප්‍රමාණයක් අත්හිටුවා ඇති අතර, Circle සමාගම ඩොලර් මිලියන 800කට අධික වත්කම් ප්‍රමාණයක් අත්හිටුවා ඇති බව සඳහන්.

එමෙන්ම Ripple සමාගමද ඩොලර් මිලියන 200කට ආසන්න වත්කම් අත්හිටුවා ඇති බව Binance ආයතනය ප්‍රකාශ කර තිබෙනවා.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ට සම්බන්ධ World Liberty Financial ක්‍රිප්ටෝ සමාගමද මෙම සිද්ධියට අදාළ ඩිජිටල් වත්කම් අත්හිටුවීම සඳහා සහයෝගය ලබාදී තිබෙනවා.

සිද්ධියෙන් පසු Binance වේදිකාවෙන් මුදල් ආපසු ලබාගැනීම තාවකාලිකව අත්හිටුවා ඇති අතර, Binance Alpha වේදිකාවේ ගනුදෙනු කටයුතුද ආරක්ෂක පියවරක් ලෙස තාවකාලිකව නවතා තිබෙනවා.

කෙසේ වෙතත්, සිය පරිශීලකයින්ගේ මුදල් සුරක්ෂිත බවත්, ආරක්ෂක පරීක්ෂණ අවසන් වූ වහාම සාමාන්‍ය ගනුදෙනු කටයුතු යළි ආරම්භ කරන බවත්, Binance ආයතනය අවධාරණය කර ඇති බව සඳහන්.

මෙම සිද්ධිය ජාත්‍යන්තර ක්‍රිප්ටෝ මුදල් වෙළෙඳපොළටද බලපෑම් එල්ල කර ඇති අතර, අද (30) ආසියානු වෙළෙඳපොළ ගනුදෙනු ආරම්භයේදී Bitcoin සහ Ethereum ඇතුළු ප්‍රධාන ක්‍රිප්ටෝ මුදල්වල මිල පහත වැටී තිබෙනවා.

විශේෂයෙන් Bitcoin සහ Ethereum මිල සියයට 2කින් පමණ පහත වැටී ඇති අතර, Binance හා සම්බන්ධ BNB ඩිජිටල් මුදලේ වටිනාකම සියයට 8කට අධික ප්‍රමාණයකින් පහත වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Blockchain දත්ත විශ්ලේෂණ සමාගම් පෙන්වා දෙන්නේ මෙම සිද්ධියෙන් ඩොලර් බිලියන ගණනක ඩිජිටල් වත්කම් අනවසරයෙන් ලබාගෙන ඇති බවට සැක පවතින බවයි.

කෙසේ වෙතත්, සැකකටයුතු ගනුදෙනුවල සම්පූර්ණ වටිනාකම සහ ඒවාට වගකිවයුතු පුද්ගලයින් සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තොරතුරු අනාවරණය වී නොමැත.

ලොව පුරා මිලියන 335කට අධික ලියාපදිංචි පරිශීලකයින් පිරිසක් සිටින Binance ආයතනය, ක්‍රිප්ටෝ මුදල් වෙළෙඳපොළේ ප්‍රමුඛතම හුවමාරු වේදිකාවක් ලෙස සැලකෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *