නාරහේන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අසළ නිවසක සිට රියදුරු බලපත්‍ර, ජාතික හැඳුනුම්පත් ඇතුළු ලියකියවිලි සහතික ව්‍යාජ ලෙස සැකසු පුද්ගලයෙකු නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු සමග තවත් අයෙකුද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් සතුව තිබූ ව්‍යාජ ලෙස සකස් කළ රියදුරු බලපත්‍ර 12ක්, ජාතික හැඳුනුම්පත් 08ක්, තාවකාලික රියදුරු බලපත්‍ර 08ක් හා වාහන ලියාපදිංචි කිරීමේ සහතික 04ක්ද පොලිස් භාරයට ගෙන ඇත.
නුගේගොඩ අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් පිරිසක් නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ අපරාධ නිවාරණ රාජකාරියේ යෙදී සිටියදී වැලිකඩ පොලිස් වසමේ සැකකටයුතු පුද්ගලයෙකු පරීක්ෂා කර තිබේ.
එහිදී සැකකරු සතුව තිබූ තාවකාලික රියදුරු බලපත්‍රය පිළිබඳව ඇතිවූ සැකයක් මත සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීමේදී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අසළ පිහිටි නිවසක පුද්ගලයෙකුගෙන් රුපියල් 4,000/-ක මුදලකට මිලදී ගත් බවට තොරතුරු අනාවරණය වී ඇත.
එහිදී මේ සම්බන්ධව සිදුකළ වැඩිදුර විමර්ශනයේදී මේ සම්බන්ධව තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි වූ බව පොලිසිය පැවසීය.
ඒ අනුව සැකකරුගේ මගපෙන්වීම මත නාරහෙන්පිට මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ආසන්නේ නිවසක් වටලා ඇති අතර එම නිවසේ පුද්ගලයාද අත්අඩංගුවට ගෙන තිබුණි.
පසුව සිදුකළ පරීක්ෂාවේදී ඔහු සන්තකයේ තිබී ව්‍යාජ ලෙස සැකසූ රියදුරු බලපත්‍ර ජාතික හැඳුනුම්පත්, තාවකාලික රියදුරු බලපත්‍ර මෙන්ම වාහන ලියාපදිංචි කිරීමේ සහතික පත්‍ර තොගය සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය පැවසීය.
පොලිසිය සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ සැකකරු ඉතා සූක්ෂම ලෙස මෙම ලිපි ලේඛන සකස් කර රුපියල් 7,500/- සිට ඉහළ මිල ගණන්වලට පැමිණෙන පුද්ගලයින්ගේ අවශ්‍යතාව මත අලෙවි කර ඇති බවය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අංගොඩ සහ නාරාහෙන්පිට ප්‍රදේශවල වයස අවුරුදු 32-52ත් අතර පසුවන්නන් බවද පොලිසිය සඳහන් කළේය.
සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් සිදුකරති.


