රජීව් ගාන්ධි ඝාතකයන් නිදහස් කිරීම කොංග්‍රස් පක්ෂය හෙළා දකියි

ඉන්දියාවේ හිටපු අගමැතිවරයකු වන රජීව් ගාන්ධි ඝාතනය කිරීමේ චෝදනාවට හසු වී ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳිමින් සිටි පුද්ගලයන් 6 දෙනකු නිදහස් කිරීමට ඉන්දීය ශ්‍රෙෂ්ඨාධිකරණය දුන් තීන්දුව සම්පූර්ණයෙන්ම පිළිගත නොහැකි සහ වැරදි තීන්දුවක් බවට ඉන්දීය කොංග්‍රස් පක්ෂය හෙළා දැක ඇතැයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේය. ඉන්දීය කොංග්‍රසයේ හිටපු නායකයා ද වන රජීව් ගාන්ධි 1991දී ඝාතනයට ලක් වූයේ එල්ටීටීඊ සංවිධානයේ කුමන්ත්‍රණයකට අනුව සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකිනි.

එරට ශ්‍රේෂ්ඨාධිකරණය ඉන්දියාවේ අභිමානයට එරෙහිව එසේ කටයුතු කිරීම කනගාටුදායක බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජික ජයරාම් රමේෂ්ගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් ඉන්දීය කොංග්‍රස් පක්ෂය ට්විටර් පණිවිඩයක් නිකුත් කර ඇතැයි අල් ජසීරා පුවත් සේවය වැඩිදුරටත් සඳහන් කළේය.

එම සිරකරුවන් 6 දෙනා අතරින් එකම කාන්තාව වන නාලිනී ශ්‍රීහරන්, ශ්‍රී ලාංකිකයකු වන ඇගේ සැමියා වී. ශ්‍රීහරන් හෙවත් මුරුගන් සහ සන්තන් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගයෙන් දිනකට පසු චෙන්නායි නුවරට කිලෝමීටර් 140ක දුරින් පිහිටි වෙල්ලොර් බන්ධනාගාරයෙන් නිදහස ලැබූ අතර, වී.ශ්‍රීහරන් නිදහස් කිරීමෙන් පසු තිරුචිරපල්ලි හි පිහිටි විශේෂ සරණාගත කඳවුරකට රැගෙන ගොස් තිබේ. නාලිනි ශ්‍රීහරන් නිදහස ලැබීමෙන් පසු ඉන්දියාවේ NDTV රූපවාහිනි නාලිකාවට ප්‍රකාශ කර ඇත්තේ ඇගේ සැමියා සරණාගත කඳවුරකට රැගෙන යෑම පිළිබඳ කනගාටු වන බවය. ඔහුට ඉක්මනින්ම තමා සහ දැනට බ්‍රිතාන්‍යයේ සිටින තම දියණිය සමඟ අලුත් ජීවිතයක් ආරම්භ කරන්න අවස්ථාව ලැබෙනු ඇතැයි ඇය ප්‍රකාශ කර තිබේ. සිරගතව සිටි ඉතිරි තිදෙනා එම ප්‍රාන්තයේම චෙන්නායි සහ මදුරෙයි බන්ධනාගාරවලින් නිදහස ලබා පිටව ගොස් තිබේ.

Leave a Reply

Your email address will not be published.