‘ලයිලා’ වැනි ධීවර ක්‍රමයක් හෝ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ යම් කාන්දුවක් කැස්බෑ මරණවලට හේතුවිය හැකි බවට සැකයක් පවතින බව පරිසරවේදීන් පවසයි.
කැස්බෑ සංරක්ෂණ ප්‍රදේශයක් ලෙස නම් කර ඇති ගාලුමුවදොරට මෙන්ම වැල්ලවත්ත සහ දෙහිවල වෙරළ තීරවලට මියගිය කැස්බෑවන් 11ක් මීට පෙර ගොඩගසා තිබුණි.
අසාමාන්‍ය ලෙස ගොඩ ගසා තිබූ මෙම කැස්බෑ මළ සිරුරු කිහිපයක ඇස් ඉදිමී, ඇතැම් සිරුරුවලින් රුධිරය වහනය වන ආකාරය ද දක්නට ලැබුණි.
මේ අතර පමුණුගම, සරක්කුව හා කැපුන්ගොඩ වෙරළ තීරවලට ද මියගිය කැස්බෑ සිරුරු 7ක් ඊයේ (22) රාත්‍රියේ ගොඩගසා තිබේ.
එම සියලු කැස්බෑ මළ සිරුරුවල තැනින් තැන පිපිරීම් වැනි සලකුණු දක්නට ලැබුණි.
මුතුරාජ අඩවියේ වන සත්ත්ව අඩවි ආරක්ෂක නිලධාරී ටෙනිසන් ප්රියවර්ධන මහතා පවසන්නේ මෙම කලාපයට මියගිය කැස්බෑවන් මෙවන් ප්‍රමාණයක් එකවර ගොඩගසා ඇත්තේ පළමු වරට බවය.
මේ අතර, ගල්කිස්ස අල්විස් පාර වෙරළ තීරයට මියගිය කැස්බෑ සිරුරක් අද ගොඩගසා තිබුණි.
එම කැස්බෑවාගේ ද පිට ප්‍රදේශ කටුව පුපුරා ගොස් තිබෙනු දක්නට ලැබුණි.
වෙරළතීරයට කළු පැහැති තෙල් වැනි යමක් ගොඩගසා තිබෙන අයුරු නිරීක්ෂණය වූ බවද අඩවි වන ආරක්ෂක නිලධාරීන් පවසයි.
එමෙන්ම කැස්බෑ සිරුරු පුපුරා යාම් ගැන ද විවිධ මත පළ කෙරෙයි.
එම කැස්බෑ සිරුරු ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර පසුව එය පරීක්ෂණ සඳහා අත්තිඩිය වනජීවි පශු වෛද්‍ය කාර්යාලයට භාරදීමට නියමිත තිබේ.
කැස්බෑවන් මෙලෙස අසාමාන්‍ය ලෙස මිය යාමට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණ වී නැතත් පරිසරවේදී නයනක රන්වැල්ල මහතා පවසන්නේ ගැඹුරු මුහුදු තීරයේ මිනිස් ක්‍රියාකාරකමක් නිසා සිදුවූ පිපිරීමක් මීට හේතුව විය හැකි බවය.
එමෙන්ම ‘ලයිලා’ වැනි ධීවර ක්‍රමයක් හෝ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදු වූ යම් කාන්දුවක් මීට හේතුව විය හැකි යැයි ද ඔහු සැක පළකරයි.