විරෝධතාකරුවන්ට වෙඩි තැබූ බව යුද හමුදාව ප්‍රතික්ෂේප කරයි

කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයට ඇතුළු වීමට උත්සාහ කළ විරෝධතාකරුවන්ට තමන් සෘජුවම වෙඩි තැබූ බවට සිදු කරන ප්‍රචාරයන් ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රතික්ෂේප කරයි.

මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් යුද හමුදාව කියා සිටියේ ඉකුත් සෙනසුරාදා (9) පස්වරුවේ විරෝධතාකරුවන් බලහත්කාරයෙන් ජනාධිපති මන්දිරයට ඇතුළු වීමට උත්සාහ කිරීමේදී ඔවුන්ට හිතාමතා හානි කිරීම සඳහා හමුදා භට පිරිස් වෙඩි තැබූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන වීඩියෝ දර්ශන කිහිපයක් සම්බන්ධයෙන් සිය අවධානය යොමුව ඇති බවයි. 

විරෝධතාකරුවන් එම පරිශ්‍රය වෙත ඇතුළුවීම වැළැක්වීම උදෙසා අහසට මෙන්ම ජනාධිපති මන්දිරයට ඇතුළුවන ප්‍රධාන ගේට්ටුවේ පැති බැම්මට වෙඩි ප්‍රහාර කිහිපයක් තැබීමට පියවර ගත් බව යුද හමුදාව සඳහන් කළේය.

අහසට වෙඩි තැබීම සහ ගේට්ටු පැති බැම්මට වෙඩි තැබීම වළක්වාලීමේ උපක්‍රමයක් ලෙස භාවිතා කළ අතර එය කිසිසේත්ම විරෝධතාකරුවන්ට ශාරීරික හානියක් සිදුකිරීම සඳහා ගත් පියවරක් නොවන බව යුද හමුදාව වැඩිදුරටත් පවසයි.

Leave a Reply

Your email address will not be published.