නීතිපති දෙපාර්තමේන්තු නියෝජිතයින් විසින් සාක්ෂිකරුවන්ගේ දිවුරුම් ප්‍රකාශ වගඋත්තරකාර පොලිස්පතිදේශබන්දු තෙන්නකොන් මහතාගේ පාර්ශ්වය වෙත ලබා දීම සිදුකර තිබේ.
පාර්ලිමේන්තු සන්නිවේදන අංශය සඳහන් කළේ, පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් කර ඇති බව කියන විෂමාචාර සහ සිය ධුරයේ බලතල බරපතළ අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත් කළ පාර්ලිමේන්තු පරීක්ෂණ කමිටුවේදී මෙය සිදුකෙරුණු බවය.
මෙම කමිටුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පී.පී. සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් සහ විනිසුරු ඩබ්ලිව්.එම්.එන්.පී. ඉද්දවල සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ඊ.ඩබ්ලිව්.එම්. ලලිත් ඒකනායක යන මහත්වරුන්ගේ සාමාජිකත්වයෙන් ඊයේ (03) පාර්ලිමේන්තුවේදී රැස්වුණි.
මෙහිදී නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් පරීක්ෂණ කමිටුවට සහභාගී වූ අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතිඥ දිලීප පීරිස් සහ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් රජිත පෙරේරා යන මහත්වරුන් පෙන්වා දුන්නේ වගඋත්තරකාර පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ ආර්.එස්. වීරවික්‍රම මහතාගේ නිවසටම ගොස් පසුගිය සති අන්තයේ දී සාක්ෂිකරුවන්ගේ දිවුරුම් ප්‍රකාශ 12ක් ලබා දීමට කටයුතු කළ බවය.
එමෙන්ම සාක්ෂිකරුවන් 10කගේ දිවුරුම් ප්‍රකාශ කමිටුව ඉදිරියේ වගඋත්තරකාර පොලිස්පතිවරයාගේ පාර්ශ්වය වෙත ලබාදුන් අතර, ඉතිරි දිවුරුම් ප්‍රකාශ එළඹෙන කමිටු වාරයකදී ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජිතයින් කමිටුව හමුවේ ප්‍රකාශ කර තිබේ.
ඒ අනුව වගඋත්තරකාර පොලිස්පතිවරයාගේ පාර්ශ්වය ඉල්ලා සිටියේ පෙර එකඟවූ පරිදි සියලු සාක්ෂිකරුවන්ගේ දිවුරුම් ප්‍රකාශ තම පාර්ශ්වය වෙත ලබා දෙන ලෙසය.
පසුව දෙපාර්ශ්වයේ කරුණු පැහැදිලි කිරීමෙන් අනතුරුව තවත් සාක්ෂිකරුවන්ගේ දිවුරුම් ප්‍රකාශ 6ක පිටපත් වගඋත්තරකාර පොලිස්පතිවරයාගේ පාර්ශ්වය වෙත ලබාදීම යෝග්‍ය බව කමිටුව පවසා තිබේ.
ඒ සම්බන්ධයෙන් දෙපාර්ශ්වයේ එකඟත්වය පළ වීමෙන් අනතුරුව තවත් දිවුරුම් ප්‍රකාශ 2ක් දෙපාර්ශ්වයටම පහසු දිනයක සහ වෙලාවක පෞද්ගලිකව පාර්ලිමේන්තු පරිශ්‍රයට පැමිණ කියවීමට කමිටුව අවසර දී ඇති බව සඳහන්ය.
තවත් එක් සාක්ෂියක් ලෙස ලබා දී ඇති මාධ්‍ය සාකච්ඡාවක සංයුක්ත තැටියක් වගඋත්තරකාර පොලිස්පතිවරයාගේ පාර්ශ්වය වෙත ලබා දීමටද පරීක්ෂණ කමිටුව තීරණය කළ අතර නීතිපති දෙපාර්තමේන්තු නියෝජිතයින් එය ලබා දීමට කටයුතු කර තිබේ.
මෙම සාක්ෂිකරුවන්ගේ දිවුරුම් ප්‍රකාශ සම්බන්ධයෙන් වගඋත්තරකාර පොලිස්පතිවරයාගේ පාර්ශ්වයේ ස්ථාවරය ඉදිරිපත් කිරීම එළෙඹෙන 9 වැනිදා පස්වරු 2.00ට පරීක්ෂණ කමිටුව රැස්වී සිදුකිරීමට නියමිතය.