ජනාධිපති ලේකම් කාර්යාලය වසර දහයකදී වාහන සම්බන්ධ වියදම් සඳහා රුපියල් බිලියන 5.7කට අධික මුදලක් වැය කර ඇත.
2012 සිට 2022 දක්වා වසර දහයක කාලයේදී ජනාධිපතිවරු තිදෙනෙකු යටතේ මෙම වියදම් සිදුවී ඇතැයි 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ පනත යටතේ ලබාගත් තොරතුරු අනුව අනාවරණය විය.
වාහන නඩත්තු, වැඩිදියුණු කිරීම්, නව මිලදී ගැනීම්, කල්බදු වාහන සඳහා ලීසිං වාරික ගෙවීම් සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය මෙසේ රුපියල් 5,722,926,340ක් (රුපියල් බිලියන 5.7කට වැඩි මුදලක්) වියදම් කර ඇත.
තොරතුරු දැනගැනීමේ පනත යටතේ ජනාධිපති ලේකම් කාර්යාලයේ 2012-2022 කාලය තුළ සාමාන්‍ය පරිපාලන වියදම් පිළිබඳව ලබාගත් අංක ඡී/ඍඔI/04/2023 අංක දරන තොරතුරු ගොනුව තුළින් මේ බව අනාවරණය විය.
ජනාධිපති කාර්යාලයේ සාමාන්‍ය පරිපාලන වියදම් සම්බන්ධයෙන් කරන ලද තොරතුරු ඉල්ලීමකට අනුව වාහන නඩත්තුව සඳහා පමණක් 2012 සිට 2022 කාලය තුළදී රුපියල් 1,865,640,511.00ක් වියදම් කර ඇති බව අනාවරණය විය.
තව ද, වාහන වැඩිදියුණු කිරීම් සඳහා පමණක් 2012 සිට 2022 දක්වා කාලය තුළ රුපියල් 1,564,033,298ක් වියදම් කර ඇති බවත් වාහන මිල දී ගැනීම් සඳහා පමණක් 2012 සිට 2022 දක්වා කාලය තුළ රුපියල් 48,908,155ක් වියදම් කර ඇති බවත් එම තොරතුරුවල සඳහන් වේ.
එසේ ම, ‘ලීසිං’ ක්‍රමය යටතේ වාහන ලබා ගැනීම සඳහා ගෙවීම්වලට පමණක් 2012 සිට 2022 දක්වා කාලය තුළ රුපියල් 1,781,843,095ක් වියදම් කර ඇති බවත් කල්බදු වාහන සඳහා ලීසිං වාරික ගෙවීම සඳහා පමණක් 2017 සිට 2022 දක්වා කාලය තුළ රුපියල් 462,501,281ක් වියදම් කර ඇති බවත් එම තොරතුරු ලේඛනයේ දැක්වේ.
මෙම වාර්තාව 2012-2022 දක්වා කාලසීමාව ආවරණය කරන අතර ඒ කාලය තුළ මහින්ද රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන සහ ගෝඨාභය රාජපක්ෂ යන ජනාධිපතිවරු ධුර දැරූහ.