කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

රුපියල් මිලියන 97කට අධික වත්කම් උපයාගත් ආකාරය හෙළිදරව් කළ නොහැකි වීමේ චෝදනාව යටතේ හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිය, දියණියන් තිදෙනා සහ බෑනා ඇතුළු සිය පවුලට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම ඊයේ (17දා) කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මහත්මිය හමුවේ අධි චෝදනා භාර දුන්නේය.

මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස හිටපු ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිය වන කුසුම් ප්‍රියදර්ශනී ඈපා, දියණියන් තිදෙනා වන චමිත්‍රී ජයනිකා රඹුක්වැල්ල, චන්දුලා රමාලි රඹුක්වැල්ල, අමාලි නයනිකා රඹුක්වැල්ල සහ බෑනා වන ඉසුරු පුලස්ති බණ්ඩාර පොල්ගස්දෙණිය යන අය නම් කර ඇත.

මහ බැංකුවේ සැක කටයුතු ගනුදෙනු (STR) අංශය කළ විමර්ශනයකදී සොයාගත් කරුණු අනුව අල්ලස් හෝ දූෂණ කොමිසම විමර්ශනයක් පවත්වා විත්තිකරුගේ බැංකු ගිණුම, ජීවිත රක්ෂණ ඔප්පු හා ස්ථිර තැන්පතු පරීක්ෂා කිරීමෙන් පසු අනාවරණය වූ කරුණු අනුව නඩු පැවරීම සිදුකර තිබේ. 2023 වසරේ දින දෙකක් තුළදී පමණක් විත්තිකරුවන්ගේ සැක කටයුතු ගිණුම්වලට රුපියල් මිලියන 100කට ආසන්න මුදලක් ලැබී ඇති බව චෝදනා පත්‍රය සමඟ භාර දුන් ලේඛනවල සඳහන් වේ.

අධි චෝදනා කියවා දීමෙන් පසු විත්තිකරුවන් තමන්ට එරෙහිව ඉදිරිපත්ව ඇති සියලු චෝදනාවන්ට නිවැරැදිකරුවන් බව කියා සිටින ලදි. ඉන්පසු මහාධිකරණ විනිසුරුවරයා නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණයට යොමුකර ඇප නියම කිරීම සම්බන්ධයෙන් විරුද්ධ වන්නේදැයි පැමිණිල්ලෙන් විමසා සිටියේය. පැමිණිල්ල එයට විරුද්ධ නොවීය.

ඒ අනුව එක් විත්තිකරුවකුට රුපියල් 50,000 බැගින් මුදල් හා ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත විත්තිකරුවන් මුදාහැරීමට මහාධිකරණ විනිසුරුවරිය නියෝග කළාය. මෙයට අමතරව විත්තිකරුවන්ට ආගමන විගමන තහනමක් පනවා විදේශ ගමන් බලපත්‍රය අධිකරණභාරයට ගැනීමට නියම විය. විත්තිකරුවන්ගේ ඇඟිලි සටහන් වාර්තාගෙන පෙර වැරැදි පරීක්ෂා කිරීමට විනිසුරුවරිය නියෝග කළාය.

Leave a Reply

Your email address will not be published.