බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි ජෝර්ජ් කුමරු අද (22) සිය 12 වන උපන්දිනය සමරමින් සිටියි.
2013 වසරේ ජූලි 22 දා ලන්ඩන් නුවර ශාන්ත මේරී රෝහලේ දී උපතට ලැබූ ජෝර්ජ් කුමරු එංගලන්තයේ ඔටුන්න හිමි විලියම් කුමරුගේ කේට් කුමරියගේ පළමු දරුවාය.
ඒ අනුව ජෝර්ජ් කුමරු රාජකීය ධූරාවලිය අනුව සිංහාසනයට සිටින උරුමකරුවන් අතර දෙවන ස්ථානයේ පසු වේ.
සිය 12 වන උපන්දින සැමරුමත් සමඟ කුමරු නව යොවුන් වියට පා තැබු බව සැලකේ.
ඒ අනුව බ්‍රිතාන්‍යයේ අනාගත රජු වශයෙන් ඔහුව සූදානම් කිරීම් සිදුකිරීමට නියමිත අතර කුමරුගේ ජීවිතයේ යම් යම් වෙනස්කම් ඉදිරියේදී සිදුවීමට නියමිත බව සඳහන් වේ.
ප්‍රධාන වශයෙන් එලැඹෙන සැප්තැම්බර් මාසයේ සිට ජෝර්ජ් කුමරුට නව පාසලකට ඇතුලත්වීමට සිදුවේ.
ඒ අනුව කුමරු මේ දක්වා සිය සහෝදරයා හා සහෝදරිය සමඟ අධ්‍යාපනය ලැබූ ලැම්බෲක් පාසලට සමුදීමට නියමිතය.
කෙසේ නමුත් එම පාසල සම්බන්ධයෙන් මෙතෙක් නිල වශයෙන් දැනුම්දී නොමැති බව සඳහන් වේ.
එමෙන්ම රාජකීය සම්ප්‍රධායක් ලෙස අද සිට ජෝර්ජ් කුමරුට සිය පියා සමඟ එකම ගුවන් යානයක ගුවන් ගමන් වල යෙදීමට අවසර හිමි නොවනු ඇති.
හදිසියේ හෝ ගුවන් අනතුරක් සිදුවුවහොත් එයින් බ්‍රිතාන්‍ය කිරුළේ අනාගත උරුමකරුවන් රැකගැනීම සඳහා රාජකීය පවුළ විසින් මෙම සම්ප්‍රධායන් අනුගමනය කරනු ලබයි.
විලියම් කුමරු සම්බන්ධයෙන්ද මෙම නීතිය මෙලෙසම ක්‍රියාත්මක වී ඇති අතර වයස අවුරුදු 12 න් පසුව ඔහුට චාල්ස් රජු හා ඩයනා කුමරිය සමඟ එකට පියාසර කිරීමට බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් රැජිණගේ විශේෂ ලිඛිත අවසරයක් ලබා දිය යුතුව තිබු බව සඳහන් වේ.
සිය රාජකීය භූමිකාවට පළමු පියවර තබමින් ජෝර්ජ් කුමරු මේ වසර මුලදී පැවති Victory දිනය අවසානයේ පැවති තේ මේසය සඳහා සහභාගී වී ඇති අතර එහිදී ඔහු දෙවන ලෝක යුද්ධයේ යුද විරුවන්ගේ අතීත අත්දැකීම් රස විදිමින් සිටින අයුරු ඡායාරූප හා විඩියෝ ලොව පුරා ඉතා ප්‍රසිද්ධියට පත්ව තිබුණි.
බ්‍රිතාන්‍යයේ අනාගත රජු මෙන්ම අනාගත සන්නද්ධ හමුදා ප්‍රධානියාදවන කුමරු ඉදිරියේදී සන්නද පුහුණුවකට ඇතුලත් වීමට නියමිතව ඇත.
එහි මුල් පියවරයන් වශයෙන් ඔහු දැනටමත් ගුවන් පියාසර අධ්‍යාපනය ලැබීම ආරම්භ කර ඇති බවය වාර්තා වේ.
විදෙස් මාධ්‍ය පවසන්නේ මේ වන විට ජෝර්ජ් කුමරු සිය 12 වන උපන්දිනය සැමරීම වෙනුවෙන් සිය මව පියා සහෝදර සහෝදරියන් හා කේට් කුමරියගේ මව්පියන් වන කුමරුගේ ආච්චි සීයා සමග ගීසියේ නිවාඩුවක් ගතකිරීමට ගොස් ඇති බවය.