අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවේ සිටියදී ඉන් පලා යාමට කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනා 50 ක් යටතේ නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් “හරක් කටා” ඇතුළු විත්තිකරුවන් පස්දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ අලුත් නඩුවක් ගොනු කර තිබේ.
කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා ඉදිරියේ මෙම නඩුව අද (05) කැඳවනු ලැබීය.
ඉන් අනතුරුව එම නඩුවට අදාළව විත්තිකරුවන්ට අධිචෝදනා භාරදීම සිදුකර ඇත.
අදාළ නඩුවේ විත්තිකරුවන් ලෙස නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු කොස්තාපල්වරයකු වන රවිඳු සන්ධිප ගුණසේකර, දිනේෂ් තරංග, රුවන් චාමර හෙවත් මිදිගම රුවන් සහ සංජීව අබේසිංහ යන විත්තිකරුවන් නම් කර තිබේ.
මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී දැඩි ආරක්ෂක විධිවිධාන මැද අදාළ විත්තිකරුවන් අධිකරණයට ඉදිරිපත් කර තිබූණි.
අධිචෝදනා පත්‍ර භාරදීමෙන් පසුව විත්තිකරුවන්ගේ ඇඟිලි සලකනු ලබාගෙන වාර්තා කැඳවීමට ද අධිකරණය නියම කළේය.
ඒ අනුව හරක් කටා නමැති විත්තිකරු රඳවාගෙන සිටින රැඳවුම් නියෝගය අවසන් වීමෙන් පසුව ඔහුව රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස විනිසුරුවරයා නියම කර ඇත.
සෙසු විත්තිකරුවන් සිව්දෙනා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ද විනිසුරුවරයා විසින් නියම කරනු ලැබීය.
ඉන් අනතුරුව නඩුව යළිත් සැප්තැම්බර් මස 24 වන දා කැඳවීමට අධිකරණය නියම කළේය.

