ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා විසින් පාස්කු දින එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් දිගින් දිගටම සිදු කරන අසත්‍ය ප්‍රකාශවලට එරෙහිව එන්තරවාසියක් යැවීමට කතෝලික සභාව තීරණය කර තිබෙන බව අගරදගුරු පදවි මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමා පැවසූහ.
සිරිල් ගාමිණී පියතුමා මේ බව පැවසුවේ කොළඹ, අගරදගුරු මැඳුරේ ඊයේ (06) පැවති මාධ්‍ය හමුවේදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සිරිල් ගාමිණී පියතුමා මෙලෙස ද පැවසූහ.
“පාස්කු දා ප්‍රහාරය සිදු වන දවසේ කාදිනල්තුමාත් ඉතිහාසයේ පළවෙනි වතාවට පාස්කු ඉරිදා දේව මෙහෙයට සහභාගි වුණේ නෑ. ඊට පෙර වසරවල දේව මෙහෙයට සහභාගි වෙලා තිබෙනවා. 2019ට පසුව අවුරුදුවලත් පාස්කු ඉරිදා දිව්‍ය පූජාවට සහභාගි වෙලා තියෙනවා’ කියලා විමල් වීරවංශ මහතා මාධ්‍ය හමුවේ කියනවා. එයින් ඔහු අදහස් කරන්නේ කාදිනල් හිමිපාණන් 2019 විතරක් පාස්කු ඉරිදා උදේ දිව්‍ය පූජාවක් පැවැත්වූයේ නැත්තේ බෝම්බ ප්‍රහාරය ගැන කලින් දැනුම්වත්ව සිටියාය කියන එක ද කියලා ප්‍රශ්නයක් අපට තියෙනවා.
කාදිනල් හිමිපාණන් සෑම අවුරුද්දකම පාස්කු දේව මෙහෙය පවත්වන්නේ පාස්කු ඉරිදාට පෙර දින සෙනසුරාදා මධ්‍යම රාත්‍රියේ. මධ්‍යම රාත්‍රියේ දිව්‍ය පූජාව තමයි කතෝලික ජනතාවගේ ප්‍රධානතම පාස්කු දේව මෙහෙය. සෑම පාස්කු මංගල්‍යයකදීම වගේ ඒ වසරේදීත් පාස්කු දිනට පෙර සෙනසුරාදා මධ්‍යම රාත්‍රියේ දිව්‍ය පූජා යාගය කාදිනල් හිමිපාණන් විසින් කොටහේන සාන්ත ලුසියා ආසන දෙව් මැඳුරේදී පවත්වනු ලැබුවා. ඒක තමයි සාමාන්‍ය සම්ප්රදාය. සාමාන්‍යයෙන් කාදිනල් හිමිපාණන් සම්ප්රදායක් හැටියට පාස්කු ඉරිදා උදේ දිව්‍ය පූජාවක් පවත්වන්නේ නෑ. කලින් හිටපු අගරදගුරු හිමිවරුත් සෙනසුරාද රාත්‍රී දිව්‍ය පූජාව තමයි පවත්වන්නේ. පාස්කු ඉරිදා දිව්‍ය පූජාවන් පවත්වන්නේ නෑ.