වලස්කටා අත්අඩංගුවට 

සංවිධානාත්මක අපරාධකරුවකු වන කෙහෙල්බද්දර පද්මේගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන තිළිණ සම්පත් හෙවත් ‘වලස් කටා’ නමැත්තා බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මේ වනවිට රඳවාගෙන ප්‍රශ්න කරන කෙහෙල්බද්දර පද්මේගේ සමීපතම ගෝලයාවන ‘පස් දේවා’ (ගම්පහ දේවා) නම් පුද්ගලයාගෙන් හෙළිකරත් තොරතුරුවලට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

‘වලස් කටා’ සීදුව ප්‍රදේශයේදී මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇති අතර, එහිදී සිදුකළ පරීක්ෂා කිරීමේදී මෝටර් රථයේ සඟවා තිබූ හෙරොයින් ග්‍රෑම් 550ක්ද පොලීසිය විසින් සොයාගෙන තිබේ.

ඔහු ද ගණේමුල්ල ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙක්ය.

සැකකරුගේ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේ දී කොමන්ඩෝ සලින්ත හා කෙහෙල්බද්දර පද්මේ සමග සමීප සබඳතා පවත්වා ඇති බවට අනාවරණ වූ බව ද විමර්ශන නිලධාරීන් සඳහන් කළේය.

වලස් කටා හා කෙහෙල්බද්දර පද්මේ මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් සිදුකරන සංවාදයක හඬපටයක් ද සොයාගැනීමට පොලීසියට හැකිවී ඇත.

එමෙන්ම ගම්පහ ඔස්මන් නැමැත්තාවද ඝාතනය කිරීමට සූදානම් වූ බවට සැකකෙරෙන හඬපටයක් ද පොලීසිය සැකකරුගේ ජංගම දුරකථනයේ තිබී සොයා ගෙන තිබේ.

මේ අතර රඳවාගෙන ප්‍රශ්නකරන පස්දේවා සතුව තිබූ කුඩා ප්‍රමාණයේ පොතක් පරීක්ෂා කිරීමේදී තවත් වැදගත් තොරතුරු රැසක් විමර්ශන නිලධාරීන් අනාවරණ කරගෙන ඇත.

එහි සඳහන්ව ඇත්තේ, දඬුගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවන් දෙදෙනෙක් හා තවත් පුද්ගලයෙකු පිළිබඳවය.

ඔවුන් තිදෙනා පද්මේගේ සමීපතමයෙක්ට වෙඩිතැබීමේ සිද්ධියට හීනටියන සංඛගේ උපදෙස් මත යතුරුපැදිය ලබාදී ඇති බව අනාවරණ වී තිබේ.

අදාළ තිදෙනා පිළිබඳ තොරතුරු පද්මේට ලබාදී ඔවුන්ව ඝාතනය කිරීමට සූදානමක් තිබූ බවටද විමර්ශන නිලධාරීන් සැකපළකරයි.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඔළුගල මහතාගේ අධීක්ෂණයෙන් ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා මහතා විසින් සිදුකෙරේ.

මේ අතර කෙහෙල්බද්දර පද්මේගෙන් බව කියමින් තර්ජන එල්ල වූ බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ මැඩලීමේ ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් ද සිල්වා මහතාට විශේෂ ආරක්ෂාවක් ලබාදීමට පොලිසිය පියවර ගෙන තිබේ. 

කෙහෙල්බද්දර පද්මේ බව පවසමින් ලින්ටන් ද සිල්වා මහතාට පසුගියදා දුරකථනය ඔස්සේ මරණ තර්ජන එල්ලවී තිබුණි.

මෙම සිද්ධිය පිළිබඳ විමර්ශන ආරම්භ කර ඇති බව පොලිසිය, කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට (5) දැනුම්දුන්නා.

එහිදී පොලිසිය කළ ඉල්ලීමක් පිළිගත් අධිකරණය කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පුද්ගලයින් තිදෙනෙකුගේ දුරකථන විස්තර වාර්තා කැඳවන ලෙස නියම කළේය.

පොලිසිය සඳහන් කළේ මේ වනවිට විදේශගතව සැඟව සිටින අපරාධකරුවකු වන අමින්ද රෝෂාන් ජයසේකර හෙවත් ‘දරුන්’ සහ සලින්ද මදුශාන් පෙරේරා හෙවත් ‘කමාන්ඩෝ සලින්ද’ යන අය එක්ව මෙම තර්ජනාත්මක ඇමතුම ලබාදී ඇතැයි කරුණු අනාවරණය වූ බවය.

Leave a Reply

Your email address will not be published.