EV පරදා Hybrid වාහන ඉල්ලුම ඉහළට

ගෝලීය විද්‍යුත් වාහන තරගයේදී සියල්ලන් අභිබවා පෙරට පැමිණ සිටින චීනය දැන් මුළුමනින්ම විද්‍යුත් බලයෙන් ක්‍රියාකරන EV වෙනුවට විදුලිය සහ ඉන්ධන යන දෙආකාරයෙන්ම ක්‍රියාකළ හැකි Hybrid වාහන වෙත වැඩි නැඹුරුවක් දක්වන බව වාර්තා වෙයි.

මේ තත්ත්වය සංඛ්‍යාලේඛන දත්ත මගින්ද තහවුරු වී තිබේ.

2024ට සාපේක්ෂව 2025 වසරේ මුල් අර්ධයේදී චීනයේ බැටරි සහ ඉන්ධන භාවිත කරන Hybrid වාහන අපනයනය 210% දක්වා තුන්ගුණයකින් ඉහළ ගොස් තිබේ.

එහිදී බැටරි පමණක් අඩංගු EV අලෙවිය ඉහළ ගොස් තිබෙන්නේ 40%කින්ය.

චීනයේ මේ Hybrid වාහන වැඩි වශයෙන්ම මිලදී ගෙන තිබෙන්නේ යුරෝපීය වෙළෙඳපොළය.

එහිදී යුරෝපයට ආනයනය කරන බැටරි පමණක් අඩංගු සම්පූර්ණයෙන් විද්‍යුත් බලයෙන් ක්‍රියාකරන වාහන සංඛ්‍යාව 2%කින් පමණ පහත වැටීමද විශේෂත්වයකි.

චීන EV නැත්නම් විද්‍යුත් වාහන සඳහා යුරෝපා රටවල් මේ විදියට වැඩි වශයෙන් යොමුවන්නේ 2035 වනවිට වායු දූෂණය ශුන්‍ය කිරීමේ ඉලක්කය කරා ළඟාවීම ගැටලුකාරීව තිබියදීය.

වාර්ෂිකව විද්‍යුත් වාහන මිලියන 11ක් පමණ එ නම් ගෝලීය EV වෙළෙඳපොළෙන් අඩක් පමණ නිපදවන චීනයේ මෙම ප්‍රවණතාව ලබාදෙන පණිවිඩයක් තිබේ.

එහෙත් ලෝකය තවමත් ඉන්ධන දහන එන්ජින් මුළුමනින්ම අතහැර දැමීමට සූදානම් නැත.

‘ප්ලග් ඉන් – Hybrid’ නැත්නම් මේ දෙමුහුම් රථවලින් සාම්ප්‍රදායික අභ්‍යන්තර දහන එන්ජින් සහිත මෝටර් රථවලට වඩා 30%කින් අඩු වායු දූෂණයක් සිදුවන බව හඳුනාගෙන තිබේ.

එහෙත් මේ Hybrid වාහන භාවිතය වුවත් ෆොසිල ඉන්ධන දහනයෙන් සිදුවන වායු දූෂණය ශුන්‍ය කිරීම සඳහා වූ ඉලක්කය වසර ගණනක් ඈතට රැගෙන යන බව ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය සඳහන් කළේය.

කෙසේ නමුත් මේ Hybrid වාහන සඳහා වූ ඉල්ලුම ඉහළ යාම තවත් වසර 03ක් හෝ 05ක් පමණ පවතිනු ඇති බවත් නැවතත් පූර්ණ විද්‍යුත් බලයෙන් ක්‍රියාකරන වාහන ඉදිරියට පැමිණෙනු ඇති බවත් මෝටර් රථ කර්මාන්තයේ විශේෂඥයින් පවසයි.

Leave a Reply

Your email address will not be published.