තැපැල් වෘත්තීය සමිති ක්‍රියාත්මක කළ වැඩවර්ජනය මේ මොහොතේ සිට අවසන් කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසීය.
පසුගිය 17 වැනිදා සිට ක්‍රියාත්මක වුණු මෙම අඛණ්ඩ වැඩවර්ජනය අද (24) අමාත්‍යවරයා සමග පැවැති සාකච්ඡාවේදී ඇති කරගත් එකඟතා මත මෙලෙස අවසන් කර තිබේ.
එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් චින්තක බණ්ඩාර මහතා පැවසුවේ ඉදිරිපත් කළ මූලික කරුණු 19යෙන් 17කට මසක් ඇතුළත විසඳුම් සැලසුම් කිරීම සඳහා ඇමතිවරයා විසින් තැපැල්පතිට නියෝග ලබා දී ඇති බවය.
එමෙන්ම අනෙක් කරුණු 2 වන ඇඟිලි සලකුණු සහ අතිකාල දීමනා සමබන්ධයෙන් වූ ඉල්ලීමට කිසිඳු වෙනසක් සිදු කිරීමට ඇමතිවරයා කැමැත්ත පළ නොකළ බවත් ඒ සම්බන්ධයෙන් පවතින නීතිය අනුව ගත හැකි ක්‍රියාමාර්ග ගැන ඉදිරියේ දී සාකච්ඡා කරන බවත් එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
වර්ජනයේ නිරත තැපැල් සේවකයින් සහ විෂය භාර අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (24) පැවැත්වුණු අතර එහිදී මෙම තීරණ ගෙන ඇති බව සඳහන් වේ.
විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය සහ ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති ඇතුළු සංගම් කිහිපයක් ඉල්ලීම් 19ක් මුල් කර ගනිමින් පසුගිය 17වනදා සිට දින 7ක් පුරා මෙම වර්ජනය ක්‍රියාත්මක කළේය.
වර්ජනය ආරම්භ කිරීමත් සමග දිවයින පුරා පිහිටි තැපැල් කාර්යාලවල තැපැල් සේවා කටයුතු අඩාල වූ අතර තැපැල් සේවා ලබා ගැනීමට පැමිණි ජනතාව දැඩි දුෂ්කරතාවටද පත්විය.

