එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදාවට ඉන්දියාවෙන් 5,400ක්

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමසාධක සේවාවන් සඳහා ඉන්දීය යුද හමුදාවෙන් භටයන් 5,400ක් යොදවා ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. මේ වන විට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමසාධක හමුදාව ලොව පුරා විවිධ මෙහෙයුම් 14ක නිරතව සිටින අතර, ඉන් මෙහෙයුම් 8කට ඉන්දීය යුද හමුදා සෙබළුන් සක්‍රීයව දායකත්වය සපයමින් සිටින බව ද එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

එක්සත් ජාතීන්ගේ සංවිධාන ධජය යටතේ ලොව විවිධ අරගල හා ගැටුම්වලට මැදි වූ ජන කොටස්වල ආරක්ෂාව තහවුරු කිරීමට එක් වී සිටින ඉන්දීය යුද හමුදා සෙබළුන් මෙහෙයුම් ගණනාවක් සිදු කර ඇති අතර, හමුදා බලසේනාධිපතිවරුන්, හමුදා උපදේශකවරුන් ඇතුළු උසස් නිලධාරීහුද ඒ අතර වෙති.

මේ වන විට කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය, ලෙබනනය, දකුණු සුඩානය, සිරියාව, බටහිර සහරා කලාපය සහ සයිප්‍රසය වැනි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමසාධක මෙහෙයුම් ක්‍රියාත්මක වන රටවල ඉන්දීය යුද හමුදා සෙබළුන් වැඩි වශයෙන් යොදවා ඇත.

Leave a Reply

Your email address will not be published.