සිසුන් පනහට අඩු පාසල් සංඛ්‍යාව එක්දහස් හයසිය හතළිස් හයක් දක්වා වැඩි වී තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ නවතම සංඛ්‍යා ලේඛන අනාවරණය කරයි.
පසුගිය වසර වන විට සිසුන් පනහට අඩු පාසල් සංඛ්‍යාව වූයේ එක්දහස් පන්සිය පහකි. එම සංඛ්‍යාව එක්දහස් හයසිය හතළිස් හයක් දක්වා වැඩි වී ඇත්තේ පසුගිය ජුනි මාසයට අදාළව ය. මේ වන විට එම සංඛ්‍යාව තවත් වැඩි විය හැකි බව ද අමාත්‍යාංශය සඳහන් කරයි.
මේ අතරින් වැඩි ප්‍රමාණයක් ප්‍රාථමික පාසල් ය. රජයේ පාසල්වල 1 වැනි ශ්‍රේණියට ඇතුළත් වන දරුවන් සංඛ්‍යාව ද වසරින් වසර ශීඝ්‍රයෙන් අඩු වෙමින් පවතින අතර මෙම වසරේ දී එම සංඛ්‍යාව දෙලක්ෂ හැට හය දහසක් පමණ විය. මෙම තත්ත්වය හේතුවෙන් එම පාසල්වල සිටින ප්‍රාථමික පුහුණු ගුරුවරුන් සම්බන්ධයෙන් යම් යම් තීරණ ගැනීමට සිදු වනු ඇතැයි අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් පැවසුවේය.
මෙම පාසල් වැසීයාම වැළැක්වීමට ඒවා ඒකාබද්ධ කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් පවතින අතර ඒ සඳහා සුදුසු පාසල් කවරේ ද යන්න සම්බන්ධයෙන් සොයා බලන ලෙස අමාත්‍යාංශය සියලුම පළාත්වලට දැනටමත් දන්වා තිබේ.


