හදිසි නීතිය ටෙස්ට් තරගාවලියට බාධාවක් නෑ

රජය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන පාකිස්තාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය අවිනිශ්චිත තත්ත්වයක පවතින බවට පැතිර යන කටකතාවල සත්‍යතාවක් නැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් මොහාන් ද සිල්වා මහතා පවසයි.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය සංවිධානය කරන ලෝක ටෙස්ට් ශූරතාවලියට අයත් ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර ටෙස්ට් තරගාවලිය හෙට (16) ආරම්භ වීමට නියමිතව ඇත. මෙම ටෙස්ට් තරගමාලාවේ පළමු තරගය හෙට ගාල්ල ක්‍රීඩාංගණයේදී හා දෙවැන්න මේ 24 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ කිරීමට සියලු කටයුතු සැලසුම් කොට තිබියදී එම තරගවලට පැවැත්වීම අවිනිශ්චිත බවට විවිධ ප්‍රචාර පැතිර යමින් පවතී.

“ පවතින තත්ත්වය සම්බන්ධයෙන් පාකිස්තාන ක්‍රිකට් ආයතනය හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හොද අවබෝධයකින් ක්‍රියා කරනවා. කිසිම ගැටලුවක් නැතිව ටෙස්ට් තරගාවලිය පවත්වන්න පුළුවන්. අරගල පවතිද්දී ඔස්ට්‍රේලියානු ක්‍රිකට් සංචාරය සාර්ථකව නිමා වූවා. ඒ ආකාරයෙන්ම පාකිස්තානය සමග ටෙස්ට් තරගාවලියත් සුපුරුදු පරිදි පවත්වන්න හැකියාව තිබෙනවා. කරුණු නොදැන කරන ඇතැම් ප්‍රචාර ගැන කණගාටු වෙනවා“ ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම්වරයා පැවැසීය.

කොළඔ නගරයේ පැවැති විරෝධතා මධ්‍යයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කණ්ඩායමට එරෙහිව පාකිස්තානය කොළඹදී තෙදින පෙරහුරු තරගය පෙරේදා නිමා කළ අතර එය ජය පරාජයෙන් තොරව නිමාවට පත්විය.

රටේ පවතින ආර්ථික හා දේශපාලන අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට අහිමි වීමට ඉඩ ඇත්ද? යන්න පිළිබද කළ විමසුමකදී ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම්වරයා පැවැසූවේ එම තරගාවලිය උදෙසා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවශ්‍ය කටයුතු සූදානම් කරමින් සිටින බවයි. “ආසියානු ක්‍රිකට් කවුන්සිලය තරගාවලිය පවත්වන්න අපට භාර දී තිබෙනවා. ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරක අයිතිය පිළිබඳව කිසිදු ගැටලුවක් නෑ“ සිල්වා මහතා පැවැසීය. වසර 2019න් පසු ශ්‍රී ලංකාවේ පැවැති සියලු ටෙස්ට් ක්‍රිකට් තරග කොළඹින් පිටත ක්‍රීඩාංගණවලදී පවත්වා ඇති අතර වසර 3කට පසු මෙවර කොළඹදී ටෙස්ට් තරගයක් පැවැත්වීමේ අවස්ථාව ලැබී තිබේ. ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පී. සරා ඕවල් පිටියේදී පැවැති ටෙස්ට් තරගය කොළඹ සංවිධානය වූ අවසන් ටෙස්ට් තරගය විය. එතැන් සිට එංගලන්තය සමග ටෙස්ට් තරගාවලිය ගාල්ලේදී, බංග්ලාදේශය සමග ටෙස්ට් තරගාවලිය පල්ලේකැලේදී හා බටහිර ඉන්දීය කොදෙව් පිල සමග ටෙස්ට් තරගාවලිය ගාල්ලේදී පැවැත්විය. එමෙන්ම පසුගියදා නිමාවූ ඔස්ට්‍රේලියාව සමග ටෙස්ට් තරගාවලිය ද ගාල්ලේ පැවැත්විණි.

Leave a Reply

Your email address will not be published.