නීති විරෝධී සිප්පි කටු ඇඹරුම් කම්හල් දෙකක් වටලයි

 කින්නියා පොලිස් වසමට අයත් කාකමූණේ කලපුව ආසන්නයේ ස්ථාන දෙකක වලංගු බලපත්‍රයක් නොමැතිව නීති විරෝධී ලෙස මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය සිප්පි කටු ඇඹරුම් කම්හල් දෙකක් ඊයේ (23) පස්වරුවේ වැටලු ත්‍රිකුණාමලය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ පොලිස් නිලධාරීහු සිප්පි කටු විශාල තොගයක් හා ඇඹරුම් යන්ත්‍ර හතරක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූහ.

               මෙම නීති විරෝධී කම්හල් දෙක සම්බන්ධයෙන් ලද තොරතුරු අනුව ත්‍රිකුණාමලය දිසාභාර නියෝජ්‍ය පොලිස්පති ඩී.එම්.යූ.මහින්ද දිසානායක මහතාගේ උපදෙස් මත කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එල්.වයි. අරුණ සාමන්ත චන්ද්‍රපාල මහතාගේ අධීක්ෂණයෙන් පොලිස් අධිකාරී ජේ.එල් අජිත් කුමාර මහතාගේ මෙහෙයවීම මත කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුදත් බණ්ඩාර මහතා ඇතුළු පිරිසක් මෙම වැටලීම සිදුකර සැකකරුවන් සමග සිප්පි කටු තොගය මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණි.

             මෙම ස්ථාන දෙකේ ගබඩාකර තිබූ සිප්පි කටු බෑග් 127 ක් , සිප්පි කටු අඹරන යන්ත්‍ර සූත්‍ර හතරක් ,ගොඩ ගසා තිබූ අඹරන ලද සිප්පි කටු විශාල තොගයක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ. කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ පොලිස් පරීක්ෂක අමිල ගුණසේන, සැරයන් (63392) ප්‍රදිප්, කොස්තාපල්වරුන් වන (87340) අමරසේකර (91157) මදුසංක (97051) පසිඳු (93506) බවීදාස් (100803) රෙජිකරන් (101318) උදාර යන නිලධාරීහු මෙම වැටලීමට එක්වූහ .සැකකරුවන් සිප්පි කටු තොගය සහ ඇඹරුම් යන්ත්‍ර සමග ත්‍රිකුණාමල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.සැකකරුවන් කින්නියා කාකමුනේ ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය කියයි.

Leave a Reply

Your email address will not be published.