ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත 10ක් පසු කරමින් දින 110ක් පුරා සාම පාගමනේ යෙදුණු පූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ භික්ෂූන් වහන්සේලාගේ සහභාගිත්වයෙන් මෙරට පැවැත්වීමට නියමිත “Walk for Peace Program in Sri Lanka” සාම පාගමනට රාජ්‍ය අනුග්‍රහය ලබාදීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඊයේ (02) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ සහභාගිත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවේදී පාගමනේ ආරක්ෂාව සහ සංවිධාන කටයුතු පිළිබඳ අවධානය යොමු කෙරිණි.
අප්‍රේල් 21 වනදා අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියසින් ආරම්භ වන මෙම පාගමන, අප්‍රේල් 28 වනදා කොළඹ නිදහස් චතුරස්‍රයෙන් අවසන් වීමට නියමිතය. දඹුල්ල, මාතලේ, මහනුවර සහ කෑගල්ල හරහා දින හතක් පුරා පැවැත්වෙන මෙම ගමනේදී ශ්‍රී මහා බෝධි අංකුරයක්ද වැඩම කරවනු ලබයි. පාගමන අවසානයේ එම බෝධි අංකුරය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඇමරිකාවේ සිට වැඩම කළ මහා සංඝරත්නය වෙත නිල වශයෙන් භාර දීමට නියමිතය. මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම්වරුන්, පොලිස්පතිවරයා සහ ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.


