හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ බිරිය වන මෛත්‍රී වික්‍රමසිංහගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ඇගේ නිවසට ගොස් ඇත්තේ, ඇය විසින් කළ ලිඛිත ඉල්ලීමක් හේතුවෙන් බව වාර්තා වේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ හෘද රෝග සැත්කමකින් පසු සුවය ලබමින් සිටියදී ඔහුගේ බිරිය වන මෛත්‍රී වික්‍රමසිංහගෙන් ප්‍රකාශයක් ගැනීමට රහස් පොලීසියේ නිලධාරීන් පිරිසක් ඇගේ නිවසට යාම සම්බන්ධයෙන් කනගාටුවට පත්වන බව එක්සත් ජාතික පක්ෂ සභාපති, වජිර අබේවර්ධන ඉකුත් 24 වෙනිදා මාධ්‍ය හමුවකදී පවසා තිබුණි.
හිටපු ජනපතිවරයාගේ හෘද සැත්කමෙන් පසු ඔහුගේ රෝගී තත්ත්වය සම්බන්ධයෙන් සොයා බලා කටයුතු කරන්නේ මෛත්‍රී වික්‍රමසිංහ බවත් ඇයද දීර්ඝ කාලයක් තිස්සේ අසනීපයෙන් පසු වූ බවද දේශපාලන කටයුතු වෙනුවෙන් පවා කිසිවෙකුක් සම්බන්ධ නොවන අවස්ථාවක වෙනත් පුද්ගලයන්ගේ පැමිණීම ජනපතිවරයාගේ සෞඛ්‍යයට තර්ජනයක් බව වජිර අබේවර්ධන එදින පැවසීය.
ජනාධිපති ලේකම් කාර්යාලයේ මූල්‍ය ප්‍රතිපාදන භාවිත කරමින් කළැයි කියන විමර්ශනයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීමට ඉකුත් පෙබරවාරි 20 වෙනිදා කොල්ලුපිටිය පොලීසියේ පෙනී සිටින ලෙස හිටපු ජනපති බිරිය මෛත්‍රී වික්‍රමසිංහට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන අංශ III හි ස්ථානාධිපති විසින් දන්වා තිබුණි.
එම ලිපියට මෛත්‍රී වික්‍රමසිංහ පිළිතුරු ලිපියක් යොමු කර කරමින්, ඇගේ පැවති සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් මෙම ප්‍රකාශය කොළඹ 03 පස්වන පටුමඟේ පිහිටි නිවෙසේදී ගැනීමට සලකා බලන ලෙස ඉල්ලීමක් කර ඇත.
ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න ද මෛත්‍රී වික්‍රමසිංහගේ සෞඛ්‍ය තත්ත්වය සඳහන් කරමින් වෛද්‍ය වාර්තා කිහිපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කර අදාළ ප්‍රකාශය නිවෙසේදී සටහන් කරගැනීමට සලකා බලන ලෙස දන්වා තිබේ.
ඒ අනුව අදාළ ප්‍රකාශය සටහන් කරගැනීමට ඉකුත් 24 වෙනිදා පැමිණෙන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන අංශ III හි ස්ථානාධිපතිවරයා විසින් 20 වැනිදා මෛත්‍රී වික්‍රමසිංහ වෙත ලිපියක් යොමු කරමින් දන්වා ඇත.
ඊට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් අදාළ දිනයේ දී නිවසට ගොස් ප්‍රකාශය ලබාගෙන ඇත.


