ශ්‍රී ලංකාව ආශ්‍රිතව පවතින පහළ වායුගෝලීය කැලඹිලි ස්වභාවය හේතුවෙන්, දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (08) පස්වරු 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
නැගෙනහිර සහ උතුරු පළාත්වල උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැකියි.
මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.


