‘හන්ටා’ නමැති වෛරසයක් පැතිරයාමක් ගැන ලොව පුරා බියක් නිර්මාණය කළ ‘MV Hondius’ නෞකාවෙන් මගීන් ඉවත් කිරීමේ කටයුතු අද (10) ආරම්භ කළේය.
කෲස් වර්ගයේ නෞකාවක් වන මෙම නෞකාව, ස්පාඤ්ඤයට අයත් කැනරි දූපත් ආශ්‍රිතව මේ වනවිට නැංගුරම් ලා තිබේ.
මුදාගැනීම් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකරමින් එරට සෞඛ්‍ය අමාත්‍ය මොනිකා ගාර්ෂියා පැවසුවේ, එම කටයුතු සාමාන්‍ය ලෙස සිදුවන බවය.
එමෙන්ම නෞකාවේ සිටින සියලුම මගීන්ගෙන් රෝග ලක්ෂණ වාර්තා වී නොමැති බවත් ඇය සඳහන් කළාය.
රටවල් 23ක් නියෝජනය කරමින් මගීන් 150කට ආසන්න සංඛ්‍යාවක් මෙම නෞකාව තුළ සිරවී සිටින අතර, එම මගීන් ඔවුන්ගේ රට අනුව කණ්ඩායම්වලට බෙදා කුඩා බෝට්ටුවලින් ගොඩබිමට රැගෙන ඒමට කටයුතු යොදා ඇත.
කෙසේ නමුත් වෛරසය වැළඳුණු එම නෞකාවේ සිටි තිදෙනෙකු දැනටමත් මියගොස් ඇති අතර, තවත් පිරිසක් බරපතළ තත්ත්වයෙන් ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ.
නෙදර්ලන්ත ධජය යටතේ යාත්‍රා කරමින් පැවති මෙම නෞකාවේ ‘හන්ටා’ වෛරසය ව්‍යාප්ත වෙමින් පවතින බව පළමුව වාර්තාවූයේ පසුගිය සති අන්තයේදීය.
ඒ වනවිට එම නෞකාව බටහිර අප්‍රිකානු කලාපය ආසන්නයේ අත්ලාන්තික් සාගරයේ යාත්‍රා කරමින් පැවතියේය.
එම නෞකාව කැනරි දූපත් සමූහය ආසන්නයට පැමිණියද, එම දූපත් හි බලධාරීන් මගීන්ව නෞකාවෙන් ඉවත් කිරීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මගීන් මේ දක්වා එම නෞකාව තුළ කොටුවී සිටියහ.
රොඩන්ට් නම් මීයන් විශේෂය මාර්ගයෙන් සාමාන්‍යයෙන් ව්‍යාප්ත වන හැන්ටා වෛරසය, මෙවර මිනිසුන් අතර ව්‍යාප්ත වන්නට ඇති බවට සෞඛ්‍ය බලධාරීන් පැවසීය.
කෙසේ නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ එම වෛරසය ගෝලීය වශයෙන් ව්‍යාප්තවීමට වැඩි ඉඩකඩක් නොමැති බවය.


