නායයෑම් ගැන NBRO දැනුම්දීමක්

දිවයින පුරා පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් කඳුකර ප්‍රදේශවල, විශේෂයෙන් නායයෑම් අවදානම් සහිත ප්‍රදේශවල ජීවත්වන ජනතාව නායයෑම් පූර්ව අනතුරු ලක්ෂණ පිළිබඳ දැඩි අවධානයෙන් පසුවිය යුතු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

එම සංවිධානය අවධාරණය කරන්නේ, තද වැසි සමඟ නායයෑම්, පස් කණ්ඩි කඩා වැටීම් සහ භූමි චලනයන් සිදුවීමේ අවදානම ඉහළ ගොස් ඇති බැවින් ආරක්ෂක උපදෙස් පිළිපැදීම අත්‍යවශ්‍ය බවය.

ඒ අනුව, නිවාස අවට ඇති කාණු පද්ධති පිරිසිදු කර වැසි ජලය ඉක්මනින් ගලායාමට පහසුකම් සලසන ලෙසත්, නිවසට ඉහළින් පිහිටි බර ගස් සහ අවදානම් සහිත වස්තූන් හැකි තරම් ඉවත් කරන ලෙසත් උපදෙස් ලබාදී ඇත.

එසේම, නිවාස පිටුපස උස් පස් කණ්ඩි හරහා වැසි ජලය ගලා නොයන පරිදි ආරක්ෂිත කාණු පද්ධති සකස් කර ගැනීම සහ වහලයෙන් වැටෙන ජලය නිසි පරිදි බැහැර කිරීමට කටයුතු කරන ලෙසද දැනුම් දෙයි.

නායයෑම් අවදානම් ප්‍රදේශවල ජනතාව නායයෑම් පූර්ව ලක්ෂණ පිළිබඳ නිරන්තර අවධානයෙන් සිටින ලෙසත්, සැකසහිත තත්ත්වයන් වාර්තා වුවහොත් වහාම ග්‍රාම නිලධාරීන් සහ අදාළ රාජ්‍ය ආයතන දැනුවත් කරන ලෙසත් ඉල්ලා සිටී.

හදිසි ආපදා තත්ත්වයකදී හැකි ඉක්මනින් ආරක්ෂිත ස්ථානයකට ඉවත් වීම, අවට ජනතාව දැනුවත් කිරීම සහ අදාළ බලධාරීන්ට වහාම තොරතුරු ලබාදීම ඉතා වැදගත් බවද එම සංවිධානය පෙන්වා දෙයි.

Leave a Reply

Your email address will not be published.