ඉන්ධන, පොහොර සහ කෘෂි යෙදවුම්වල මිල ඉහළ යාම හමුවේ ඒ සඳහා යොදා ගත හැකි විකල්ප මොනවාද යන්න සම්බන්ධයෙන් ගොවීන් දැනුම්වත් කිරීමේ විශේෂ වැඩසටහනක් හෙට (14) ආරම්භ කිරීමට නියමිතව තිබේ.
යළ කන්නය ඉලක්ක කර ගනිමින් ‘ඉසුරු ගෙනෙන යලක්’ ජාතික කෘෂිකර්ම වැඩසටහන යටතේ ගොවීන් මෙලෙස දැනුම්වත් කිරීමට කටයුතු යොදා ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසා තිබේ.
එහි පුහුණු හා ව්‍යාපෘති අධ්යක්ෂ සිසිර කුමාර මහතා පවසා ඇත්තේ මෙම වැඩසටහන දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි.
“යල කන්නය ඉලක්ක කර ගෙන ජාතික කෘෂිකර්ම වැඩසටහන යටතේ ඉන්ධන, පොහොර සහ කෘෂි යෙදවුම්වල මිල ඉහළ යාම හේතුකොටගෙන ඒ සඳහා යොදා ගත හැකි විකල්ප මොනවාද යන්න ඒ වැඩසටහන් මාලාව ගොවීන් දැනුවත් කරනවා. ඒත් එක්කම පස් පරීක්ෂණ කරලා පොහොර යොදන විදිහ, ඒ වගේම රසායනික පොහොර භාවිතය අවම කරගෙන කොහොමද වගා කරන්නේ, අඩු පොහොර ප්‍රමාණයක්ගෙන් වැඩි අස්වැන්නක් ලබන්නේ කොහොමද, නවතම තාක්ෂණයක් කොහොමද මේ අර්බුදය හමුවේ ලබාගෙන ශ්‍රම වියදම ලබාගන්නේ, මේ සියල්ල පිළිබඳ ගොවි මහත්වරු දැනුවත් කරන ප්‍රායෝගික වැඩසටහන් මාලාවක් තමයි ‘ඉසුරු ගෙනෙන යලක්’ කියලා හදුන්වා දෙන්නේ. කවුපි, මුං, මිරිස්, ළුණු වැනි බෝග ප්‍රවර්ධනය කරලා ආර්ථිකය සවිබල ගන්වන්නත් ආනයනය සීමා කරන්නත් බලාපොරොත්තු වෙනවා මේ වැඩ සටහන තුළින්”


