ඊසානදිග තායිලන්තයේ මුක්දහාන් පළාතේ පාගමනක යෙදී සිටි භික්ෂූන් වහන්සේලා පිරිසක් වෙත 11 හැවිරිදි බාලවයස්කාර දරුවෙකු පැදවූ කැබ් රථයක් කඩා වැදීමෙන් භික්ෂූන් වහන්සේලා අට නමක් අපවත් වී ඇති බව එරට පොලිසිය පවසයි.
මෙම අනතුරින් තවත් භික්ෂූන් වහන්සේලා 13 නමකට බරපතළ තුවාල සිදුව ඇත.
මුවැන්ග් දිස්ත්‍රික්කයේ බන් නා සි නුවාන් ප්‍රදේශයේදී අද (2) දහවල් 12ට පමණ මෙම අනතුර සිදුව තිබේ.
අනතුර සිදුවූ වහාම ක්‍රියාත්මක වූ පොලිසිය සහ සහන සේවා කණ්ඩායම් එම ස්ථානයට ළඟා වනවිටත්, අනතුර හේතුවෙන් භික්ෂූන් වහන්සේලා කිහිපනමක් මාර්ගය අසල වැටී සිටි බව වාර්තා වේ.
අනතුරින් භික්ෂූන් වහන්සේලා පස් නමක එම ස්ථානයේදීම අපවත් වී ඇති අතර, බරපතළ තුවාල ලබා රෝහල්ගත කළ භික්ෂූන් වහන්සේලා අතරින් තිදෙනෙකු රෝහලේදී අපවත් වී තිබේ.
තුවාල ලැබූ සෙසු භික්ෂූන් වහන්සේලා 13 නම මේ වනවිට කඩිනමින් අසල පිහිටි රෝහල් වෙත ඇතුළත් කර අත්‍යවශ්‍ය ප්‍රතිකාර ලබා දෙමින් පවතී.
මූලික පොලිස් පරීක්ෂණවලට අනුව අනතුර සිදුකර ඇති කැබ් රථය පදවා ඇත්තේ 11 හැවිරිදි බාලවයස්කාර දරුවෙක්ය.
ඔහු තම දෙමාපියන්ගේ හෝ භාරකරුවෙකුගේ කිසිදු අවසරයකින් තොරව මෙම වාහනය පදවාගෙන විත් මෙම මාරක අනතුර සිදුකර ඇති බව අනාවරණය වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් තායිලන්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.


