පාකිස්තාන ලියාපදිංචි භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෂාර්ජා සිට පකිස්තානයේ කරාචි බලා පියාසර කරමින් තිබූ බෝයිං 737 වර්ගයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් මාර්ගෝපදේශන පද්ධතියේ දෝෂයක් වාර්තා කිරීමෙන් අනතුරුව ගුවන් ගමනාගමන පාලකයන් සමඟ තිබූ සම්බන්ධතාව බිඳ වැටී ඇති බව පාකිස්තාන ගුවන් සේවා බලධාරීන් පවසයි.
සිද්ධිය සිදුවන අවස්ථාවේ ගුවන් යානයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් පස් දෙනෙකු සිට ඇති බව වාර්තා වේ.
ගුවන් ගමන් නිරීක්ෂණ සේවාවක් වන Flightradar24 හි මූලික දත්ත අනුව, වසර 27ක් පැරණි මෙම ගුවන් යානය කරාචි නගරයට නිරිතදිග මුහුදු ප්‍රදේශයට ළඟා වන අතරතුර උස හදිසියේ කිහිප වතාවක් වෙනස් කර ඇති අතර, ඉන් අනතුරුව වේගවත් ලෙස පහළ බැස ඇත.
ඒ අනුව, ගුවන් යානය මුහුදට කඩා වැටී තිබිය හැකි බවට සැක පළ කෙරෙන අතර, එය මෙතෙක් නිල වශයෙන් තහවුරු කර නොමැත.
අනතුර සම්බන්ධයෙන් සෝදිසි සහ ගලවා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කර ඇති අතර, ගුවන් යානයේ සහ කාර්ය මණ්ඩලයේ ඉරණම පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැත.


