මහර රැඳවියෝ 104ක් වෙනත් බන්ධනාගාර 7කට – අමුත්තන් හමුවීම බදාදා සිට

මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාවය හේතුවෙන් මේ වනවිට එහි සිටි රැඳවියන් 104 දෙනෙකු බන්ධනාගාර 7ක් වෙත මාරු කර යවා තිබේ.

ඒ අනුව දුම්බර, වැලිකඩ, බූස්ස, කලුතර, බදුල්ල, මඩකලපුව හා පොළොන්නරුව යන බන්ධනාගාර වෙත මෙම රැඳවියන් මාරුකර යැවූ බව බන්ධනාගාර කොමසාරිස් (මෙහෙයුම්) හා මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක මහතා පැවසීය.

නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා සඳහන් කර ඇත්තේ, එම රැඳවියන්ගේ නම් ඇතුළත් ලේඛනය මහර බන්ධනාගාරයේ මාර්ග බාධකය අසල ප්‍රදර්ශනය කර ඇති බවය.
 
තවද අලුත්වැඩියා කටයුතු හේතුවෙන් මහර බන්ධනාගාරයේ රැඳවියන් සඳහා අමුත්තන් පෙන්වීම සඳුදා සහ අඟහරුවාදා දින දෙකෙන් පසුව ආරම්භ කෙරෙන බවද ඒ.සී. ගජනායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ඊයේ (01) පස්වරුවේ මහර බන්ධනාගාරය තුල රැඳවියන් විසින් නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති කළේය.

අද (02) උදෑසන 6.00 පමණ වනවිට සම්පූර්ණයෙන් එය පාලනය කිරීමට ආරක්ෂක අංශ සාමාජිකයින්ට හැකියාව ලැබුණු අතර රැඳවියන් එහි දේපොළ රැසක් විනාශ කර ඇති බව වාර්තා වේ.

හටගත් නොසන්සුන්කාරී තත්ත්වයෙන් එක් රැඳවියෙක් මියගොස් තවත් රැඳවියන් හය දෙනෙකු තුවාල ලබා තිබුණි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබුණේ වත්තල හැඳල ප්‍රදේශයේ පදිංචිව සිටි 33 හැවිරිදි අයෙකි.

ඔහු යතුරුපැදියක් සොරකම් කිරීම සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 20ක් ළඟ තබාගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියදී මෙම සිද්ධියට මුහුණ දී තිබේ.

නොසන්සුන්කාරී තත්ත්වයට හේතුව සොයා විමර්ශනයක් ආරම්භ කර ඇති ඇත.

බන්ධනාගාරයේ හා ප්‍රදේශයේ ආරක්ෂාවට පොලිසිය, කැරලි මර්දන සාමාජිකයින්, යුද හා නාවික හමුදා මෙන්ම STF සාමාජිකයින්ද එහි කැඳවා තිබුණි.

එමෙන්ම බන්ධනාගාරය තුළ තත්ත්වය ගුවනින් නිරීක්ෂණය කිරීම සඳහා ඩ්‍රෝන යානයක් සහ බෙල් 412 වර්ගයේ යානයක්ද යෙදවීමට ගුවන් හමුදාව පියවර ගත්තේය.

මේ අතර ප්‍රදේශයේ සාමය ආරක්ෂා කරගැනීමේ අරමුණින් වහාම ක්‍රියාත්මක වන පරිදි රාගම පොලිස් බල ප්‍රදේශයට අයත් මහර බන්ධනාගාරය අවට ග්‍රාම සේවා වසම් 03ක් සඳහා ඊයේ රාත්‍රියේ සිට පොලිස් ඇඳිරි නීතිය පැනවීමට කටයුතු කළ නමුත් මේ වන විට එය ඉවත් කර තිබේ.

Leave a Reply

Your email address will not be published.