මැලේරියාව සහ මව්වරුන් හා අලුත උපන් බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කළ තත්ත්වය වසර 10ක් පුරා අඛණ්ඩව පවත්වාගෙන යාම වෙනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් ශ්‍රී ලංකාවට විශේෂ නිල ඇගයීම් සහතිකයක් පිරිනමා තිබේ.
ටිමෝර්-ලෙස්තේ හි ඩිලි නුවර පැවැත්වෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසියේදී මෙම ඇගයීම් සහතිකය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත පිරිනමා ඇත.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්රොස් අධානොම් ගෙබ්‍රියේසස් මහතා විසින් එම සහතිකය පිරිනමා ඇති අතර, එය WHO දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කාර්යාලයේ භාරකාර නිලධාරී ආචාර්ය නිලේෂ් බුද්ධා මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර තිබේ.
ශ්‍රී ලංකාව 2016 වසරේදී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මැලේරියාවෙන් තොර රටක් ලෙස නිල වශයෙන් සහතික කරනු ලැබීය. එතැන් සිට වසර 10ක් පුරා රට තුළ මැලේරියාව නැවත ව්‍යාප්ත වීම වළක්වා ගනිමින් එම තත්ත්වය අඛණ්ඩව පවත්වාගෙන යාම මෙහිදී ඇගයීමට ලක්ව තිබේ.
මාලදිවයිනෙන් පසුව දකුණු-නැගෙනහිර ආසියානු කලාපයේ මැලේරියාව තුරන් කළ දෙවන රට බවටද ශ්‍රී ලංකාව පත්ව තිබේ.
එමෙන්ම, මව්වරුන් සහ අලුත උපන් බිළිඳුන්ගේ පිටගැස්ම (Maternal and Neonatal Tetanus) සාර්ථකව තුරන් කළ තත්ත්වයද ශ්‍රී ලංකාව වසර 10ක් පුරා අඛණ්ඩව පවත්වාගෙන යාම මෙහිදී ඇගයීමට ලක්ව ඇත.
ගර්භණී මව්වරුන් සඳහා ලබාදෙන පිටගැස්ම ප්‍රතිශක්තිකරණ එන්නත් වැඩසටහනද රට පුරා අඛණ්ඩව ක්‍රියාත්මක වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව සතු ශක්තිමත් සහ ප්‍රත්‍යස්ථ ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය, අඛණ්ඩ ජාතික කැපවීම, ඉහළ ප්‍රතිශක්තිකරණ වැඩසටහන් සහ කාර්යක්ෂම රෝග විමර්ශන සහ පාලන පද්ධතිය හේතුවෙන් මෙම සෞඛ්‍ය ජයග්‍රහණ අත්කර ගැනීමට සහ ඒවා දිගුකාලීනව පවත්වා ගැනීමට හැකියාව ලැබී ඇති බවය.
මෙම ජයග්‍රහණ හුදෙක් සෞඛ්‍ය සන්ධිස්ථාන පමණක් නොව, ශ්‍රී ලාංකීය ජනතාවගේ ජීවිත සුරක්ෂිත කිරීම සහ වඩාත් සෞඛ්‍ය සම්පන්න අනාගතයක් නිර්මාණය කිරීම සහතික කරන්නක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් සඳහන් කරයි.


