දවස් 10කින් ලංකාවට වෙන්න යන කාලගුණ වෙනස

තව දින 10කින් පමණ දිවයින පුරා පැතිරි ගිය වර්ෂාවක් බලාපොරොත්තු විය හැකි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න මහතා අද (16) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පවසා සිටියේ, මේ වනවිට එල්නිනෝ තත්ත්වයට මුහුණදීමට සියල්ල සුදානම් කරද ඉදිරියේ දී තද වැසි, නායයෑම් සහ ගංවතුර ඇති වෙනු ඇතැයි යන පුරෝකථනයට අනුව කටයුතු සුදානම් කළ යුතු බවය.

ඔක්තෝබර් සහ නොවැම්බර් යන මාස දෙක තුළ වැඩි වර්ෂාපතනයක් අපේක්ෂා කරන බවද පැවසු ඒ මහතා, ගංවතුර සහ නායයෑම් ඇති විය හැකි බවද පැවසීය.

ඔක්තෝබර් සහ නොවැම්බර් යන මාසවල බෙංගාල බොක්ක ආශ්‍රිතව කැලඹිලි ස්වභාවයන් නිරන්තරයෙන් ඇති වන කාලයක් වන අතර, එල්නිනෝ තත්ත්වය තුළ මෙය තීව්‍ර විය හැකි බවද අජිත් විජේමාන්න මහතා කියා සිටියේය.

මේ පිළිබඳ දැඩි අවධානයෙන් කටයුතු කළ යුතු අතර දෙසැම්බර් මාසයේ දී දිවයිනේ ඊශාන දිග කොටසට වැඩි වර්ෂාවක් බලාපොරොත්තු වන බවද ඒ මහතා සඳහන් කළේය.

මේ අතර උතුරු සහ නැගෙනහිර පළාත්වලට සාමාන්‍ය වර්ෂාපතනයක් බලාපොරොත්තු වන බවද පැවසු අජිත් විජේමාන්න මහතා, ඇතැම් විට IOD (Indian Ocean Dipole) තත්ත්වය තුළ එම ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක් පවා ඇති විය හැකි බවද පැවසීය.

ලබන වසරේ පෙබරවාරි, මාර්තු සහ අප්‍රේල් යන මාසවල උෂ්ණත්වය ඉහළ වර්ෂාපතනය අඩු කාලගුණයක් බලාපොරොත්තු වන බවද අජිත් විජේමාන්ත මහතා කියාසිටියේය.

මේ හේතුවෙන් ඉදිරි මාස කිහිපය තුළ දිවයිනට ලැබෙන වර්ෂාව කළමනාකරණය කරගත යුතු බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published.