දුම්රිය වර්ජනය අදත් – දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි බව දෙපාර්තමේන්තුව කියයි

දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරීවරයා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය වෘත්තීය සමිති ආරම්භ කළ සංකේත වැඩවර්ජනය අදත් ක්‍රියාත්මක බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි.

එහි සභාපති සුමේධ සෝමරත්න මහතා සඳහන් කළේ, ඊයේ ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අද මධ්‍යම රාත්‍රී 12 දක්වා ක්‍රියාත්මක කරන බවයි.

දුම්රිය දෙපාර්තමේන්තුවේ පවතින අකාර්යක්ෂමතාවන් සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදී කරුණු ඉදිරිපත් කළද, ඒ සඳහා නිසි ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගත් බවද ඔහු පැවසීය.

සාමාන්‍යාධිකාරීවරයා ඉවත් කිරීම ඇතුළු තම ඉල්ලීම් සම්බන්ධයෙන් රජය කඩිනමින් පියවර ගත යුතු බවද දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය අවධාරණය කරයි.

කෙසේවෙතත්, දුම්රිය ගමනාගමන අධිකාරී අසංක සමරසිංහ මහතා පැවසුවේ වෘත්තීය සමිති වැඩවර්ජනයක නිරත වුවද, අද දිනයේ දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදු කිරීමට කටයුතු කර ඇති බවය.

ඒ අනුව සියලුම කාර්යාල දුම්රිය අද උදෑසන සහ සවස ධාවනය කිරීමට සැලසුම් කර ඇති බව ඔහු සඳහන් කළේය.

මීට අමතරව පාර්සල් දුම්රිය, කන්කසන්තුරේ නගරාන්තර දුම්රිය, යාල්දේවී දුම්රිය මෙන්ම මන්නාරමේ සිට කොළඹ බලා ධාවනය වන දුම්රියද අද ධාවනය කිරීමට සැලසුම් කර තිබේ.

එමෙන්ම කන්කසන්තුරේ සිට කොළඹ බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රියද මේ වනවිට ධාවනය ආරම්භ කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published.