අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පවත්වා තිබේ.
ඒ, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතාගේ සහ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ වැඩබලන නියෝජ්‍ය මහ කොමසාරිස් / පළමු ලේකම් රෝෂිණී තොම්සන් මහත්මියගේ ප්‍රධානත්වයෙනි.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරට සිදු කළ නිල සංචාරය අතරතුර, අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳපුදා ගැනීමට පැමිණි අවස්ථාවේදී පූජා නගර සංවර්ධන ව්‍යාපෘතියක් වෙනුවෙන් සහාය ලබා දීමට එකඟතාව පළ කර තිබුණි. ඒ අනුව නාගරික සංවර්ධන අධිකාරිය සහ ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව ඒකාබද්ධව අනුරාධපුර පූජා නගරයේ සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීමට යෝජිතය.
මේ වන විට නාගරික සංවර්ධන අධිකාරිය සහ ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව එක්ව සකස් කළ කෙටුම්පත් යෝජනාවලිය ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය වෙත යොමු කර ඇති අතර, එම යෝජනාවලිය සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී විශේෂ අවධානය යොමු විය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද පසුගියදා අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම පිළිබඳව මහා සංඝරත්නය සහ ඊට අදාළ සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා පැවැත්වූ අතර, අදාළ ව්‍යාපෘතිය කඩිනම් කරන ලෙස එහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම ආරම්භ කිරීම සඳහා රුපියල් බිලියන 7.7ක මුදලක් වැය වනු ඇතැයි දැනට ඇස්තමේන්තු කර තිබේ.
ඊට අදාළ මූල්‍යමය දායකත්වය ඉන්දීය රජය විසින් දරනු ලබන අතර, මෙම ව්‍යාපෘතිය මේ වසර අවසන් වීමට පෙර ආරම්භ කිරීමට අපේක්ෂිතය.
මෙම ව්‍යාපෘතිය යටතේ අනුරාධපුර පූජා නගරයේ පෞරාණිකත්වය සහ ආගමික පසුබිම ආරක්ෂා කර ගනිමින් ප්‍රවේශ මාර්ග ප්‍රතිසංස්කරණය කිරීම, කැළි කසළ විධිමත්ව බැහැර කිරීම, සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීම සහ ගරා වැටී ඇති ස්ථාන නැවත ප්‍රතිසංස්කරණය කිරීම ඇතුළු සංවර්ධන වැඩසටහන් රැසක් ආරම්භ කිරීමට නියමිතය.


