ශ්‍රී ලංකා – අමෙරිකා ආරක්ෂක හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කරන්න සාකච්ඡා

ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර ආරක්ෂක හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කරමින්, එක්සත් ජනපද පැසිෆික් යුද හමුදාවේ (USARPAC) නියෝජ්‍ය අණදෙන ජෙනරාල් ලුතිනන් ජෙනරාල් ජොයෙල් වවල් (Joel Vowell) මහතා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත විය.

මෙය මෙරට සංචාරයක නිරත වූ ඉහළම නිලයක් දරන එක්සත් ජනපද යුද හමුදා නිලධාරියා ලෙස සැලකෙන අතර, එය දෙරටේ හමුදා අතර වර්ධනය වන සහයෝගීතාවයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරයි.

මෙම සංචාරය අතරතුර ලුතිනන් ජෙනරාල් වවල් මහතා, ශ්‍රී ලංකාවේ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා, ආරක්ෂක ලේකම්වරයා සහ යුද හමුදාපතිවරයා හමුවී සාකච්ඡා පවත්වා තිබේ.

එහිදී පුහුණුව සහ කලාපීය අභ්‍යාස, ආපදා ප්‍රතිචාර දැක්වීම මෙන්ම ශ්‍රී ලංකාවේ ආරක්ෂාව හා ස්වෛරීභාවය සුරැකීමට අවශ්‍ය හැකියාවන් වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් දෙරටේ හමුදාවන්ට ඉදිරියේදී එක්ව කටයුතු කළ හැකි ක්ෂේත්‍ර පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කර ඇත.

ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේදී ශ්‍රී ලංකාවේ මීළඟ පරම්පරාවේ හමුදා නායකයින් ඇමතූ ලුතිනන් ජෙනරාල්වරයා, යුද හමුදා නවීකරණය, නායකත්වය සහ ශක්තිමත් වෘත්තීය සබඳතා හරහා ඉන්දු-පැසිෆික් කලාපය තුළ පොදු ආරක්ෂාව ශක්තිමත් කළ හැකි ආකාරය පැහැදිලි කළේය.

එමෙන්ම, කොළඹ ජාවත්තේ පිහිටි පොදුරාජ්‍ය මණ්ඩලීය යුද සුසාන භූමියේදී, පළමු හා දෙවන ලෝක යුද්ධවලදී දිවි පිදූ සෙබළුන් අනුස්මරණය කරමින් පැවති විශේෂ උත්සවයකටද හෙතෙම සහභාගී විය.

ශ්‍රී ලංකාව, ඕස්ට්‍රේලියාව, ප්‍රංශය, ඉන්දියාව, ජපානය සහ නවසීලන්තය යන රටවල ආරක්ෂක අංශ නියෝජිතයන් සමඟ එක්ව ඔහු එහිදී පුෂ්පෝපහාර දැක්වූ අතර, සාමය වෙනුවෙන් වන පොදු කැපවීම යළි තහවුරු කළේය.

පසුගිය සැප්තැම්බර් 29 සිට ඔක්තෝබර් 1 දක්වා පැවති මෙම සංචාරය මඟින් යුද හමුදා නවීකරණය, සූදානම වැඩිදියුණු කිරීම සහ අන්තර්ක්‍රියාකාරී හැකියාවන් වර්ධනය කරගනිමින් ඉන්දු-පැසිෆික් කලාපය පුරා ආරක්ෂාව තවදුරටත් තහවුරු කිරීමට අපේක්ෂා කෙරේ.

Leave a Reply

Your email address will not be published.