හම්බන්තොට වරාය බහාලුම් මිලියනයේ කඩඉම ඉක්මවයි

හම්බන්තොට ජාත්‍යන්තර වරාය නව ගැන්ට්‍රි දොඹකර මෙහෙයුම් ආරම්භ කළ 2025 වසරේ සිට මේ දක්වා බහාලුම් ඒකක මිලියනයකට වැඩි ප්‍රමාණයක් හසුරුවා ඇති බව හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය පවසයි.

එම සමාගම නිකුත් කළ නවතම නිවේදනයට අනුව, 2025 වසරේදී වරාය බහාලුම් ඒකක 428,036ක් හසුරුවා ඇති අතර, 2026 වසරේ මේ දක්වා බහාලුම් ඒකක 574,196ක් හසුරුවා ඇති බවද සඳහන් වේ.

ඒ අනුව වසර දෙකේහි එකතුව බහාලුම් ඒකක 1,002,232ක්  දක්වා ඉහළ ගොස් ඇත.

හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී විල්සන් ක්ව් සඳහන් කර ඇත්තේ, මෙම කඩඉම හම්බන්තොට වරාය ප්‍රාදේශීය සහ ජාත්‍යන්තර වෙළෙඳාම සඳහා සේවා සපයන තරඟකාරී බහාලුම් වරායක් ලෙස සංවර්ධනය වෙමින් පවතින බවය.

නැව් සමාගම් සමඟ සමීපව කටයුතු කිරීම, මෙහෙයුම් විශ්වසනීයත්වය වැඩිදියුණු කිරීම සහ පාරිභෝගික අවශ්‍යතාවලට කඩිනමින් ප්‍රතිචාර දැක්වීම මෙම වර්ධනයට හේතු වී ඇති බවද ඔහු සඳහන් කර තිබේ.

මේ අතර 2026 වසරේ අප්‍රේල් මාසයේදී MSC Marie Leslie නෞකාව හරහා බහාලුම් ඒකක 13,260ක් හසුරුවමින් එක් නෞකාවකින් හසුරුවන ලද වැඩිම බහාලුම් ප්‍රමාණය වාර්තා කර ඇත.

එමෙන්ම ජූනි මාසයේදී වරායේ මෙතෙක් වාර්තා වූ ඉහළම මාසික බහාලුම් ප්‍රමාණය ලෙස බහාලුම් ඒකක 80,325ක් හසුරුවා තිබේ.

බහාලුම් මෙහෙයුම් ධාරිතාව තවදුරටත් පුළුල් කිරීම සඳහා නව දොඹකර, නැව් නැංගුරම් පහසුකම්, බහාලුම් අංගන සහ ශීතකරණ පහසුකම් ඇතුළු යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට පියවර ගනිමින් සිටින බවද හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය පවසයි.

ඒ අනුව නව දොඹකර 6ක් සහ ගැන්ට්‍රි දොඹකර 16ක් ලබාගැනීමට සැලසුම් කර ඇති අතර, එම පුළුල් ආයෝජන වැඩසටහනේ වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 108ක් වේ.

එම උපකරණ 2027 පෙබරවාරි මස අවසානය වන විට මෙහෙයුම් සඳහා යොදාගැනීමට අපේක්ෂා කෙරේ.

නව පහසුකම් ක්‍රියාත්මක කිරීමෙන් තවත් මීටර් 1,300ක නැව් නැංගුරම් ඉඩකඩක් භාවිතයට ගැනීමට හැකි වන අතර, එමඟින් වරායේ සමස්ත බහාලුම් නෞකාතීරයේ දිග කිලෝමීටර් දෙකකට ආසන්න වනු ඇත.

එමෙන්ම බහාලුම් අංගනයද සියයට 30කින් පුළුල් කිරීමටද හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය සැලසුම් කර තිබේ.

මෙම ආයෝජන හරහා හම්බන්තොට ජාත්‍යන්තර වරායේ වාර්ෂික බහාලුම් හැසිරවීමේ ධාරිතාව  බහාලුම් ඒකක මිලියන 2ක් දක්වා ඉහළ නැංවීම දිගුකාලීන ඉලක්කය බවද හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය සඳහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published.