ශ්රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ සහ ශ්රී ලංකා පාපැදි සම්මේලනයේ ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවීමට තරුණ කටයුතු හා ක්රීඩා අමාත්ය සුනිල් කුමාර ගමගේ මහතා පියවර ගෙන තිබේ.
ක්රීඩා අමාත්යවරයාට පැවරී ඇති බලතල ප්රකාරව අති විශේෂ ගැසට් නිවේදන නිකුත් කරමින් අමාත්යවරයා විසින් මෙම තීරණය ගෙන ඇති අතර, අදාළ සංගම්වල පාලන කටයුතු පවත්වාගෙන යාම සඳහා සාමාජිකයින් පස්දෙනෙකුගෙන් යුත් පරිවර්තන කමිටු දෙකක්ද පත් කර ඇත.
ඒ අනුව ශ්රී ලංකා බැඩ්මින්ටන් සංගමය වෙනුවෙන් පත්කළ පරිවර්තන කමිටුවේ සභාපතිවරයා ලෙස එම්.එච්.එස්.එස්. කුසුම් කුමාර මහතා කටයුතු කරයි.
නිලූක කරුණාරත්න, මිලින්ද සූරියආරච්චි, ස්වදෙශ් රන්දික ද සිල්වා සහ සමන් ශ්රී ලාල් යන මහත්වරුන් එම කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස නම්කර තිබේ.
නව නිලධාරීන් තෝරා පත්කර ගන්නා තෙක් බැඩ්මින්ටන් සංගමයේ පාලන කටයුතු සිදුවන්නේ මෙම කමිටුව යටතේය.
ශ්රී ලංකා පාපැදි සම්මේලනයේ පරිවර්තන කමිටුවේ සභාපතිවරයා ලෙස අනුර මහආරච්චිගේ මහතා පත්කර ඇති අතර රියර් අද්මිරාල් (විශ්රාමික) වන්දන රත්නායක, ආර්. චන්ද්රසේකර, උපාලි රත්නායක සහ කුසලානි වික්රමරත්න යන මහත්වරුන් සෙසු සාමාජිකයින් ලෙස කටයුතු කරනු ලබයි.
එක් එක් සංගම්වල සිදුවූ බව පැවසෙන වංචා, දූෂණ සහ වෙනත් අක්රමිකතා පිළිබඳ විමර්ශනය කිරීම මෙම පරිවර්තන කමිටුවලට පැවරී ඇති ප්රධාන වගකීමකි.
ඊට අමතරව ක්රීඩා පනතට හා රෙගුලාසිවලට අනුකූලව නව ව්යවස්ථා සම්මත කිරීම, සුදුසුකම් ලත් සාමාජිකයින් ලියාපදිංචි කිරීම සහ ඒ යටතේ විශේෂ මහා සභා රැස්වීම් හා වාර්ෂික මහා සභා රැස්වීම් පැවැත්වීම ඇතුළු සංවිධානාත්මක කටයුතු අධීක්ෂණය කිරීම ද මෙම කමිටු මගින් සිදු කිරීමට නියමිතය.
ක්රීඩා පනතේ රෙගුලාසිවලට අනුව නව ව්යවස්ථාව ලියාපදිංචි කිරීමෙන් අනතුරුව, දින 90ක් ඇතුළත සංගම් දෙකෙහිම නව නිලධාරීන් පත්කර ගැනීම සඳහා වූ නිලවරණය පැවැත්වීමට එම කමිටු කටයුතු කළ යුතුවේ.

